නැවත 1983ක් ඇති කරලා රට විනාශ කරන්න ඉඩ තියන්න එපා! – මහින්ද තරුණ පරපුරෙන් ඉල්ලයි…

May 13, 2019 at 10:06 pm | by admin

1983 දී සිදු කෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදිය යුතු යැයි විපක්ෂ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා සිටියි. ඉවසීමෙන් හා බුද්ධිමත්ව කටයුතු කරන ලෙස ද නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

හිටපු ජනාධිපතිවරයාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

“පසුගිය විසි එක්වැනි දා සාමකාමී ශ්‍රී ලාංකික රට වැසියන් ඉලක්ක කරගෙන අන්තවාදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාර දාමය සමඟ අපගේ මාතෘභූමිය ඉතා බරපතළ තත්වයකට පත්ව තිබෙනවා. ගෙවුණු කාලය තුළ රාජ්‍ය බුද්ධි අංශ අඩපණ කිරීම සහ ජාතික ආරක්ෂාව පිළිබඳ තැබිය යුතු නිසි අවධානය නොමැතිව කටයුතු කිරීමේ ප්‍රතිඵලය වූයේ මෙම අවාසනාවන්ත තත්ත්වය උද්ගත වීමයි. ඒ හේතුකොටගෙන අද අපේ දරුවන් පාසැල් යෑමට පවා නොහැකි තත්වයකට අප රට පත්ව තිබෙනවා. එමෙන්ම සාමාන්‍ය ජන ජීවිතය ද බොහෝ දුරට අඩාල වී තිබෙනවා. කිතුනු බැතිමතුන්ට දේවස්ථානය අහිමි වී තිබෙනවා, එමෙන්ම බොදුනු ජනතාවට වෙසක් උත්සවය අහිමි වී තිබෙනවා. රැකී රක්ෂා කරන ජනතාවට ජාත්‍යන්තර කම්කරු දිනය අහිමි වුණා.

කොටි ත්‍රස්තවාදයට එරෙහිව සටන් වැදී වසර 30ක කාලයක් තුලදී වත් මෙබදු තත්වයකට අපේ රට පත් වුනේ නැහැ. මිත්‍රවරුනි,

කවර හේතු මත මේ තත්ත්වයට අපගේ රට ඇද වැටුණත් අප කවර අයුරින් හෝ මේ අභියෝගයට මුහුණ දී ජය ගත යුතුයි. ලොව බලවත්ම ත්‍රස්තවාදී සංවිධානය ලෙස සැලකූ LTTE අභියෝගයට මුහුණ දී ජය ගත් අපට මේ අභියෝගය ජය ගැනීම අසීරු විය නොහැකියි. මේ සඳහා කෙටි කාලීන මෙන්ම මධ්‍ය කාලීන හා දිගු කාලීන වශයෙන් පියවර ගත යුතුව තිබෙනවා. මේ අන්තවාදී මනස නිර්මාණය කිරීමට ඉවහල් වූ සාධක නැතිකර දැමිය යුතුයි. සාමකාමී මුස්ලිම් ජනතාව පවා අසීරු ඉරණමකට ඇද දැමූ මේ ත්‍රස්තවාදය මුළුමනින්ම නැති කර දැමිය යුතුව තිබෙනවා. මුළු රටම එක නීතියක් යටතට ගෙන ජාතික ආරක්ෂාව මූලික කොටගත් ප්‍රතිපත්තියක පිහිටා කටයුතු කළ යුතුයි.

මේ මොහොතේ විශේෂයෙන්ම අපගේ තරුණයන්ගෙන් මා විශේෂ ඉල්ලීමක් කරනවා. 83 ජූලියේ මෙවැනිම ආකාරයෙන් එවකට පැවති ආණ්ඩුවේ අශිර්වාදයෙන් ආරම්භ වුණ සිද්ධි කිහිපයක් නිසා අවුරුදු 30 ක යුද්ධයකට රට ඇද ගෙන ගියා. එම අමිහිරි අත්දැකීම් තවමත් අපේ මතකයේ තිබෙනවා. එම නිසා මේ මොහොතේ රජයක් වශයෙන් තම වගකීම පැහැරහැර ඇති මොහොතක නීතිය අතට ගෙන කටයුතු කරන්න එපා කියන ඉල්ලීම මා කරනවා. ඉවසීමෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරන්න. අසීරු වුවත් හැඟීම් පාලනය කරගන්න. අපි එකතු වී මෙම අන්තවාදය සහ ත්‍රස්තවාදය පරාජය කල යුතුයි. අප්‍රේල් 21 වන දින සිට මේ දක්වා මෙම අවාසනාවන්ත තත්වය දනුවත්කමින්ම තම වගකීම් ඉටු නොකල වර්තමාන ආණ්ඩුවේ නායකයන් ඇතුළු එයට අනුබල දුන් සියලු දෙනාටම අනාගතයේදී දඩුවම් දීම අපි අපගේ වගකීමක් ලෙස සලකා කටයුතු කරනවා.

ආරක්ෂාව පිළිබඳ විශ්වාසය නැත්තටම නැති තත්ත්වයකට පත් වී තිබෙන මේ අවස්ථාවේ සියළු ජාතීන් එකමුතුව ශක්තිමත්ව මේ අභියෝගයකට මුහුණ දිය යුතුයි. ඒ කොහොම වුණත් මේ ත්‍රස්ත ප්‍රහාර පිටුපස සිටින බලවේගයට වුවමනා වී ඇත්තේ සිංහල දෙමළ මුස්ලිම් ජනතාව අතර ආරවුල් ඇති කිරීමයි. ඔවුන් ඒ සඳහා විවිධ උපක්‍රම ක්‍රියාවට නංවනවා.

සමාජ මාධ්‍ය තහනම් කිරීම මගින් ජනතාව තුල අනිසි බියක් සහ සැකයක් මතුව තිබෙනවා. එම නිසා මේ අවස්ථාවේදී සාමය ආරක්ෂා කරන මෙන් මා ඉතා ඕනෑකමින් නැවතත් ඔබ සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. ඔබ කළ යුත්තේ මේ රට, මේ ඉරණමට ඇද වැට්ටූ වත්මන් ආණ්ඩුවට එරෙහිව නැගී සිටීම මිස, 1983 දී සිදු කෙරුණු කළු ජූලියක් නැවත ඇති කිරීමට ජාතියේ සතුරන්ට ඉඩ නොදීමයි.

එබැවින් ඉවසීමෙන් ක්‍රියාකරන ලෙස මම යළිත් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා. එය මේ රටේ අනාගත දරු පරපුරේ ආරක්ෂාව වෙනුවෙන් අප මත පැටවී තිබෙන අත්හල නොහැකි වගකීමක් . මේ අනාරක්ෂිත තත්ත්වය නැති කළ හැක්කේ බුද්ධිමත්ව කටයුතු කිරීමෙන් පමණයි. මේ ඔබ අප සියලු දෙනාගේ මාතෘභූමියයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස