අපිත් නැඟෙනහිර ජැටිය විකුණන්න හැදුවේ නෑ….! 49%ක කොටස් පරවන්න හැදුවා විතරයි….! – එජාපය…

January 22, 2021 at 9:57 am | by emanisa.lk

නැගෙනහිර බහාලුම් පර්යන්තය හෝ කොළඹ වරායේ කිසිදු කොටසක් ඉන්දියාවට, ජපානයට හෝ වෙනත් රටකට විකිණීමට යහපාලන රජය කිසිදු ගිවිසුමකට නොඑළඹුණු බව එක්සත් ජාතික පක්ෂය පවසයි.

එම පක්ෂය නිකුත් කළ මාධ්‍ය නිවේදනයක සඳහන් වන්නේ පර්යන්ත මෙහෙයුම් පමණක් සමාගමකට බදු දීමට ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ ජපාන රජයන් අතර අවබෝධතා ගිවිසුම් අත්සන් කළ බවයි.

එහි දී ශ්‍රී ලංකාව සියයට 51ක කොටස් ප්‍රමාණයක් රඳවා ගනිමින් පර්යන්ත මෙහෙයුම් සමාගමක් පිහිටුවීමට නියමිත අතර ඉතිරි සියයට 49 කොටස් ඉන්දියාවේ සහ ජපානයේ නාමික සමාගම් අතර බෙදා හැරීමට සැලසුම් කර ඇත.

එම නිවේදනයේ වැඩිදුරටත් මෙසේද සඳහන් වෙයි.

ටමරිනල් ඔපරේෂන් කම්පනි (TOC) පිහිටුවන ලද්දේ ‘නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කිරීම සඳහා අවශ්‍ය උපකරණ හා පද්ධති සැපයීම සහ එහි කළමනාකරණය කිරීම සඳහා වූ සුවිශේෂී හා පැහැදිලි අරමුණෙනි.’

නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත කාල සීමාවක් TOC වෙත ලබාදීමට නියමිතව තිබූ අතර ඉන්පසු එම පර්යන්තයහි ක්‍රියාකාරිත්වය ශ්‍රී ලංකා රජයේ තීරණයකි.

නැගෙනහිර පර්යන්තය විකිණීම ගැන සඳහනක් නැත. එහි සංවර්ධනය හා මෙහෙයුම් අදියර දෙකකින් කිරීමට නියමිතව තිබුණි.

පළමු අදියර යනු දැනට පවතින මීටර් 600ක දුර ප්‍රමාණය අවශ්‍ය පර්යන්ත හැසිරවීමේ උපකරණවලින් සමන්විත වීමයි.

මෙම අදියර සඳහා අරමුදල් JICA වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 190ක ණයක් මගින් ලබා දීමට නියමිතව තිබුණි. දෙවැනි අදියර සඳහා තවත් ඩොලර් මිලියන 500ක මුදලක් අවශ්‍ය වන අතර එමගින් මීටර් 600 සිට මීටර් 1350 දක්වා ව්‍යාප්ත කිරීම මෙන්ම නව අංගන අවකාශයක් නිර්මාණය වනු ඇත. එය අතිරේක මීටර් 750කි. තවද ඉහළ සහන කොන්දේසි යටතේ මුදල් ඒකක හුවමාරුව අත්සන් කිරීම සඳහා ශ්‍රී ලංකා සහ ජපාන රජයන් සාකච්ඡා කරමින් සිටියේය.

ඒ අනුව JICA විසින් සපයනු ලබන ණය මුදල අවුරුදු 40ක කාලයක් සඳහා 0.1%ක පොලී අනුපාතයකට සහ අවුරුදු 12ක සහන කාලයක් සහිතව සිදු කෙරේ.

1977 සිට කොළඹ වරාය සංවර්ධනය කිරීම සඳහා ජපානය අඛණ්ඩව අරමුදල් සපයයි. ශ්‍රී ලංකා රජය විසින් ලබවාගත් ණයක් සමග දෙවැනි අදියර ඉදිකිරීම මගින් නැගෙනහිර බහාලුම් පර්යන්තයේ අයිතිය රඳවා ගැනීමට හැකිවනු ඇත.

වෙනත් පාර්ශ්වයන් පර්යන්තයේ ආයෝජනයක දී රජයට තනි අයිතියක් නොමැත. සංස්ථා සංදේශයේ දක්වා ඇති පරිදි 3 සහ 5 වගන්ති ප්‍රකාරව අනෙකුත් තොරතුරු සාකච්ඡා කිරීමට නියමිතව තිබුණේ ආණ්ඩු තුනේ නියෝජිතයින්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් විසිනි.

මේ කිසිවක් අවසන් කර නැත. TOC හි කළමනාකරණයේ තීරණය ආණ්ඩු තුන විසින් ඒකාබද්ධව ගත යුතුව තිබුණි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්වන විට ඉන්දියාව ඔවුන් නම් කරන සමාගම පිළිබඳ විධිමත් ලෙස අපිට දැනුම් දී තිබුණේ නැහැ.

එය අදානි සමූහය බව ඇඟවුණි. කොළඹ වරායට අවාසියක් ඇතිවන ලෙස ඉන්දියානු හවුල්කරු ඉන්දියාවේ වෙනත් වරායක් ක්‍රියාත්මක නොකළ යුතු බවට ශ්‍රී ලංකා රජය කොන්දේසියක් ඇතුළත් කර තිබුණි.

මෙය දකුණු ආසියාවේ ප්‍රධාන බහාලුම් වරාය ලෙස කොළඹ වරාය සිය තත්ත්වය රඳවා තබා ගැනීම සහතික කිරීමයි.

දකුණු ආසියාවේ ප්‍රමුඛතම බහාලුම්ව වරාය ලෙස කොළඹ වරාය ආරක්ෂා කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ රජයේ සාකච්ඡා කළ ගිවිසුම ප්‍රයෝජනවත් විය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස