හැකි නම් මා නොකළ වරදකට නඩු දමනු….! – අනුරගෙන් ගෝඨාට අභියෝගයක්….

February 5, 2021 at 5:30 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ මිනිසුන්ගේ ජීවන අරගල සමග පොර බදනවා මිස ප්‍රජා අයිතිය කියන කඩදාසිය සමග පොර බදන්නේ නැතැයි ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරයි.

‘ජනපතිගේ කැකිල්ලේ කොමිසම මොකද කළේ ’ යන තේමාව ඔස්සේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ජනතා ව්‍යාපාරය මගින් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවැති සම්මන්ත්‍රණයකදී ජවිපෙ නායකයා මෙසේද කීය.

විශාල බලාපොරොත්තු තියාගෙන මේ ආණ්ඩුව ගොඩනැගූ ජනතාව වෙනුවට ආණ්ඩුවේ සමීපතමයන් කොටසක් ජයග්‍රහණය කරා ගෙනයමින් තිබෙනවා. ඒ අතර පරිසරය විනාශයට එරෙහිව, ජාතික සම්පත් විකිණීමට එරෙහිව, ආර්ථික පීඩනයට එරෙහිව ජනතාව නැගීසිටීමට පටන්ගෙන තිබෙනවා. මේ නැගී සිටින ජනතාව මර්දනය කිරීමට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව ගෙනයන මර්දනයේ මාර්ග සිතියම පරාජයට පත්කිරීම වෙනුවෙන්, ප්‍රජාතන්ත්‍රවාදය දිනා ගැනීම වෙනුවෙන් අරගලයක් ආරම්භ කළ යුතුව තිබෙනවා. ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කරන්න සම්මන්ත්‍රණ මාලාවක් අපි ආරම්භ කරනවා.

රජයේ වැදගත් ආයතන හා බල මධ්‍යස්ථානවලට මිලිටරි පාලනයක් යොදමින් ඉදිරියට යන්න උත්සාහ කරනවා. මේ සියලු තත්ත්වයන්ට එරෙහිව ජනතාව නැගීසිටීම වළක්වන්න බැරි බව ගෝඨාභය රාජපක්ෂ නොදැනගත්තත් මහින්ද රාජපක්ෂ දන්නවා. ඒ නිසා ඔවුන් කල්තියාම මර්දනය දියත් කිරීමට සූදානම් වෙනවා. ගෝඨාභය රාජපක්ෂට අපි මතක් කරන්න ඕනෑ, කුඩා කෙනිත්තිලිවලින් ජනතා විමුක්ති පෙරමුණ නතර කරන්න බැහැ. අපි මහජනතාවගේ ධනය සතයක්වත් නාස්ති කළා කියලා නඩුදාන්න ගෝඨාභයට පුළුවන්ද? අපි කවර හෝ පන්නයක අපරාධයක් කළා කියලා නඩුදාන්න ගෝඨාභයට පුළුවන්ද? ඒ නිසා තමයි ගෝඨාභය රාජපක්ෂත් විශේෂයෙන් බැසිල් රාජපක්ෂත් දැන් මේ විදියට ක්‍රියාකරන්නේ.

දේශපාලන පළිගැනීම් සොයා බැලීම පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව කියලා නම් කළා. ඇත්තටම නම් දූෂිතයන් ආරක්ෂා කළ රනිල් වික්‍රමසිංහ, සාගල රත්නායක, වජිර අබේවර්ධන, වගේ අය ගැන කවදා හරි හොයන්න කොමිසමක් පත්කරන්න ඕනෑ. මොවුන්ගේ රැකවරණ සහිතව වංචනිකයන්, දූෂිතයන් නිදැල්ලේ ඉන්නේ කොහොමද කියලා හොයන්න මහජන කොමිසමක් අවශ්‍යයි. ඒ කොමිසම අපි පිහිටුවනවා.

පළිගැනීම් පිළිබඳව කොමිෂන් සභාවක් පිහිටුවලා වාර්තාවක් නිකුත් කළා. 2020 ජනවාරි 29 පිහිටුවා 2020 නොවැම්බර් මාසේ 25 අවසන් කළා. ආසන්න ලෙස දින 300යි. කොරෝනා වසංගතය නිසා මාසයක් හමාරක් වැහිලා තිබුණා. අනෙකුත් නිවාඩු දිනත් සමග උපරිම දින 300ක්. පැමිණිලි 1971ක් ආවා. මේ ගොල්ලෝ පැමිණිලි 136ක් විභාගයට ලක්කරලා. ලිඛිත පැමිණිලි 14ක් ඊට අමතරව විභාගයට ලක්කරලා. ඒ අනුව පැමිණිලි 150ක් විභාග කළා. උපරිම ගත්තොත් දින 300යි. හැබැයි ගෝඨාභය රාජපක්ෂගේ අම්ම තාත්තාගේ සොහොන හැදීම සඳහා රජයේ මුදල් වියදම් කිරීම පිළිබඳ නඩුව අවුරුදු 03ක් විතර අධිකරණයේ විභාග වෙනවා. නඩුවක යුක්තිය තහවුරු කරන්න සියල්ලන්ට ඇහුම්කන්දීම වැදගත්. අපරාධ නඩුවක් අවුරුදු 03ක් 04ක් අහන්න වෙන්නේ ඒ නිසයි. හැබැයි උපාලි අබේරත්න නඩු 150 තීන්දුවක් දින 300න් දෙනවා. මෙහෙම කරන්නේ කොහොමද? කොමිසමේ වාඩිවෙනකොටම මේ අයට තිබෙන අරමුණ තමයි 79 දෙනෙක් නිදොස්කොට නිදහස් කිරීම. ඒ වගේම අධිකරණ ක්‍රියාවලියට ඔවුන්ව ගෙන යන්න පැමිණිලි කළ අයට විරුද්ධව නඩු දාන්න. පැමිණිලි කළ අය, පැමිණිලි විභාග කළ පොලිසිය, නඩු ගොනුකරපු නීතිපති දෙපාර්තමේන්තුවේ අයයි හිරේ දාන්න යනවා.

දැන් මෙයින් ලබාදෙන්න පුළුවන් දඬුවම් මොනවද? ප්‍රජා අයිතිය අහෝසි කිරීම. අනෙක් දඬුවම මන්ත්‍රී ධුරය අහෝසි කිරීම. මන්ත්‍රී ධුර බලාගෙන දේශපාලනය කරන මිනිස්සු නෙවෙයි අපි. පක්ෂය තහනම් කර තියෙද්දිත් දීර්ඝ කාලයක් දේශපාලනය කළ ව්‍යාපාරයක් අපි. ඒ වෙලාවෙත් දේශපාලනය අත්නොහැර හිටපු මිනිසුන්ට ප්‍රජා අයිතිය මොකක්ද?

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස