අනුප්‍රාප්තික ජනපති සටනේ පෙරටුගාමී සහාය සජිත්ට…!

July 16, 2022 at 10:09 am | by emanisa.lk

අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස සමගි ජන බලවේගයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස දිනවීම සඳහා සහයෝගය ලබා දීමට පෙරටුගාමී සමාජවාදී පක්ෂය තීන්දු කර ඇතැයි වාර්තා වෙයි.

මේ අනුව ඔහුගේ ජයග්‍රහණය වෙනුවෙන් බිම් මට්ටමේ ප්‍රචාරණ කටයුතු දියත් කර ඇති අතර පක්ෂ නායකත්වය වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට එරෙහි ප්‍රචාරණ ව්‍යාපාරය ආරම්භ කර තිබේ.

69 ලක්ෂයක් ජනතා ඡන්දයෙන් ව්‍යවස්ථානුකූලව පත්වූ ජනාධිපතිවරයා පළවා හැරීමේ විරෝධතාවල මූලිකත්වය ගත් පෙරටුගාමී සමාජවාදී පක්ෂය මේ වන විට රනිල් වික්‍රමසිංහට ජනවරමක් නොමැති බවත් ඔහුගේ පත්වීම ව්‍යවස්ථා විරෝධී බවත් ප්‍රකාශ කරමින් ඇත.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඡන්දය ප්‍රකාශ නොකළ යුතු බවත් එම පක්ෂයේ අපේක්ෂකයාට ඡන්දය ලබා දිය යුතු බවත් ඊයේ (16) පැවැති මාධ්‍ය හමුවක දී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ ප්‍රකාශ කළේ පොහොට්ටුවේ ඡන්ද දෙකට කඩා සජිත් ප්‍රේමදාස ජයග්‍රහණය කරවීමේ අරමුණ ඇතිවය.

මේ වන විටත් දෙමළ සන්ධානයේ ද රවූෆ් හකීම්, රිෂාඩ් බදියුදීන් වැනි සුළු වාර්ගික පාර්ශ්වල ද අපේක්ෂකයා වී ඇත්තේ සජිත් ප්‍රේමදාස වන අතර පොහොට්ටුව තුළ මේ වන විට මතුව ඇති ගැටුම් රනිල් වික්‍රමසිංහට බෙහෙවින් අවාසි සහගත වී ඇත.

පෙරටුගාමී සමාජවාදී පක්ෂය සජිත් ප්‍රේමදාස ජනාධිපති ධූරයට පත් කිරීමට සැලසුම් කරන්නේ සිය ප්‍රචණ්ඩ දේශපාලන ව්‍යාපෘතියට රනිල් වික්‍රමසිංහ බාධාවක් වීම නිසා මිස දුර්වලයෙකු වන සජිත් ප්‍රේමදාසට ඇති කැමැත්තකට නොවන බව ද දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

ගෝඨාභය රාජපක්ෂ රටින් පිටවීමත් සමග ම බලයට අතට ගත් රනිල් වික්‍රමසිංගේ දැඩි තීන්දු නිසා ඔවුන් අල්ලා ගත් මන්දිර නැවත භාර දී පසුබැසීමට සිදු වූ අතර ශ්‍රී ලංකා නීතීඥ සංගමය ඇතුළු බොහෝ පාර්ශ්ව අරගලයෙන් ඈත්වනු දැකගත හැකිවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස