අතුරුදන් බදියුදීන්ගේ අභියාචනාධිකරණයට පෙත්සමක්! අත්අඩංගුවට ගැනීම වළකන ලෙස ඉල්ලයි!

October 15, 2020 at 11:32 am | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් අත්අඩංගුවට ගැනීම වළකන ලෙස ඉල්ලා ඔහුගේ නීතිඥවරුන් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

ඔවුන් පවසන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තම සේවාදායකයා අත්අඩංගුවට ගැනීමට උත්සහ කරන බවය.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩ බලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති එස්.පී. රණසිංහ, විමර්ශන සිදුකරන උප පොලිස් පරීක්ෂක ගාමිණී ඇතුළු හත් දෙනෙකු නම් කර තිබේ.

පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් පවසන්නේ ඉකුත් ජනාධිපතිවරණය දිනයේ දී අවතැන්වූ ඡන්දදායකයින් පුත්තලමේ සිට මන්නාරම දක්වා ප්‍රවාහනය කිරීම තුළින් රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පොදු දේපළ පනත යටතේ තමන් අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින බවය.

එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තමා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නා ලෙස නීතිපතිවරයා විසින් පෙරේදා (13) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබූ බව පෙත්සම්කරු පවසයි.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තාකර වරෙන්තුවක් ලබා ගැනීමට ඉල්ලීම් කළද මහේස්ත්‍රාත්වරයා විසින් වරෙන්තුවක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කොට ඇතැයි එම පෙත්සමෙන් පෙන්වා දෙයි.

පෙත්සම්කාර රිෂාඩ් බදියුදීන් මහතා පෙන්වා දෙන්නේ එම සිද්ධිය සම්බන්ධයෙන් තමාට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල කිරීම සඳහා කිසිදු පදනමක් නොමැති බවය.

අභ්‍යන්තර අවතැන් වූ ඡන්දදායකයින් ප්‍රවාහනය කිරීම සිදු කරනු ලැබුවේ අවතැන්වූවන් පිළිබඳ ව නැවත පදිංචි කිරිමේ ව්‍යාපෘතිය යටතේ පවතින ප්‍රතිපාදන යොදාගනිමින් යැයි ඔහු පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස