අටළුගමට රට ම අනතුරේ හෙළන්න ඉඩදෙන්න බෑ! අත්තනෝමතික විදිහට වැඩ කළොත් දිගට ම ලොක්ඩවුන්! – හමුදාපති

December 4, 2020 at 9:45 am | by emanisa.lk

අටළුගම ජනතාවගේ අනාරක්ෂිත හැසිරීමට සමස්ත කළුතර දිස්ත්‍රික්කය ම හෝ මුළු රට ම අනතුරේ හෙළීමට ඉඩදිය නොහැකි බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

අටළුගම ජනතාව කොරෝනා මර්දනය සඳහා සෞඛ්‍ය අංශ වෙත සහයෝගය ලබා නොදෙමින් අත්තනෝමතික ලෙස කටයුතු කිරීම පිළිබඳ අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේ ය.

වසංගත රෝග තත්ත්වයක් රටේ පැතිර යන අවස්ථාවක තමන්ට රිසි සේ නිදහසේ ජීවත් විය නොහැකි බවත් රටේ පවතින සෞඛ්‍ය නීති අනුව කටයුතු කළ යුතු බවත් හමුදාපතිවරයා අවධාරණය කළේ ය.

අටළුගමින් මුලින් ම වාර්තා වූයේ රෝගීන් හතර දෙනෙකු පමණක් බවත් ඔවුන්ගේ අත්තනෝමතික හැසිරීම නිසා එය තවත් 329 දෙනෙකුට ආසාදනය වී ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේ ය.

අටළුගම ජනතාව රටේ නීතියට අනුගතව කටයුතු නොකරන්නේ නම් ප්‍රදේශය තව කාලයක් හුදෙකලා කිරීමට සිදුවනු ඇති බවත් සෞඛ්‍ය අංශ සිය ප්‍රතිකාර කටයුතුවලින් ඉවත් වීමේ අවධානමක් ඇති බවත් හමුදාපතිවරයා වැඩි දුරටත් අනතුරු ඇඟෙව්වේ ය.

අද (04) උදෑසන දෙරණ අරුණ වැඩසටහනට එකතු වෙමින් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මේ අදහස් පළ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස