හොර හරක් ලොරියක් ලුහුබැන්ද රිය, අනතුරක! ආණමඩුවේ ට්‍රැෆික් OIC මරු තුරුලට!

November 5, 2020 at 4:29 pm | by emanisa.lk

ආණමඩුව පොලිස් ස්ථානයේ රථවාහන අංශයට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටි රථවාහන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හේමන්ත රත්නායක හදිසි වැටලීමකට යමින් සිටියදී ආණමඩුව නගරයේ දී රිය අනතුරකට ලක්ව ජිවිතක්ෂයට පත්ව තිබේ. මෙම රිය අනතුරෙන් ආණමඩුව පොලිසියේ දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපතිවරයා ද බරපතල තුවාල ලබා ප්‍රතිකාර සදහා ආණමඩුව රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අනතුරින් මිය ගොස් ඇති උප පොලිස් පරීක්ෂක අජිත් හේමන්ත රත්නායක 38 හැවිරිදි වියේ පසුවන අතර ඔහු එක් දරු පියෙකු වනවා.

මෙම රිය අනතුරට ලක්වූ පොලිස් නිලධාරීන් දෙදෙනා ඉකුත් ඊයේ (04) රාත්‍රී කාලයේ දී ආණමඩුව පොලිස් ස්ථානය තුළ පොරොත්තු රාජකාරියේ නිරතව සිට ඇත.

කොට්ටුකච්චිය ප්‍රදේශයේදී කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ලොරි රථයක හොර රහසේ හරක් පටවන බවට වූ තොරතුරක් ලැබීමත් සමග ඔවුන් අත්අඩංගුවට ගැනීම සදහා පිටත්ව ගොස් ඇත. ඒ වන විට ආණමඩුව පොලීසියට අයත් ජංගම රථය වෙනත් රාජකාරියක් සදහා පිටත්ව ගොස් තිබී ඇති අතර එම හේතුවෙන් තම පුද්ගලික මෝටර් රථයෙන් එම ස්ථානයට යාමට මිය ගොස් ඇති උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර තිබුණා.

එහිදී ඉදිරියට පැමිණෙමින් තිබූ ගවයින් රැගත් ලොරි රථය පසු පස තමන් පදවාගෙන පැමිණි මෝටර් රථය ආපසු හරවා ගෙන ලුහුබැද යාමට මියගිය රථවාහන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කොට ඇති අතර එහිදී වේගයෙන් ගමන් කර ඇති මෝටර් රථය ලිස්සා ගොස් ආණමඩුව නගරය තුළ පිහිටි සුවිසල් හෝරා ස්ථම්භයේ ( ඔරලෝසු කණුවේ) ගැටීමෙන් මෙමඅනතුර සිදුව තිබුණා.

අනතුරින් තුවාල ලබා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනා එමඅවස්ථාවේදීම ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමට ප්‍රදේශවාසීන් විසින් කටයුතු කර තිබු අතර රෝහලට ඇතුළත් කරන විටත් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා එම ස්ථානයේදීම මිය ගොස් සිට ඇති බව සඳහන්.

ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ ලොරිය පලා ගොස් ඇති බවට මූලික විමර්ශණවලදී අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස