හිටපු මහ ලේකම් තිස්ස නැවතත් එජාපයට! නියෝජ්‍ය නායක සජිත්ගෙන් ගෞරවණීය ඇරයුමක්!

September 24, 2019 at 2:14 pm | by emanisa.lk

විවිධ මතවාද ඇතුළු කරුණු කාරණා හේතුවෙන් පක්ෂය අතහැර ගොස් සිටින පාර්ලිමේන්තු,පළාත් සභා සහ පළාත් පාලන ආයතන මන්ත්‍රීවරුන්ට වගේ ම පාක්ෂික පාර්ක්ෂිකයින්ට එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කර වීම සඳහා පක්ෂය සමග යළි එකට ඒකරාශී වන්නැයි එම පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ආරාධනා කර සිටියි.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

“විවිධ මතවාදයන් නිසා එක්සත් ජාතික පක්‍ෂයෙන් ඈත්ව සිටින බොහෝ පිරිසක් අද පක්‍ෂය වෙනුවෙන් කටයුතු කිරීමේ අපේක්‍ෂාවෙන් සිටින බව මම දන්නවා.මතවාද යනු සාකච්චා කොට විසඳා ගැනීමට කටයුතු කළ හැකි කරුණු මිස වෙන්වීමට සාධක නොවේ.එබැවින් විවිධ මතවාදී අරගල නිසා පක්‍ෂයෙන් ඈත්ව සිටින එක්සත් ජාතික පක්‍ෂය වෙනුවෙන් පරිත්‍යාගයෙන් කටයුතු කළ සියලු පළාත්සභා මන්ත්‍රීවරු, සියළු පළාත්පාළන මන්ත්‍රීවරු, ඇතුළු පක්‍ෂ නියෝජිතයින්ට යළිත් පක්‍ෂය සහ ජනතාව ජයග්‍රහණය කරවීමට අත්වැල් බැඳගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා.

විශේෂයෙන්ම පක්‍ෂයේ ක්‍රියාකාරී ලෙස කටයුතු කළ,අසීරුතම අවස්ථාවේ පක්‍ෂයට ශක්තියක් වූ බිම් මට්ටමේ සිට පක්‍ෂ සංවිධාන ජාලය ගොඩනැගිය හැකි හිටපු මහලේකම් තිස්ස අත්තනායක මැතිතුමාට පක්‍ෂයේ අභිමානය ගොඩනගමින් රට ගොඩනැගීමේ වැඩසටහනට තමා සමඟ එක්වන ලෙස ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා.”

පාස්කු ප්‍රහාරය සමග මුස්ලිම් මැති ඇමතිවරුන් ඉල්ලා අස් වූ අවස්ථාවේ කබීර් හෂීම් නැවත සිය ඇමති ධුරයේ දිවුරුම් දිය යුතු බව සඳහන් කරමින් ද සජිත් ප්‍රේමදාස මෙවැනිම නිවේදනයක් නිකුත් කළේය. ඊට පසු දින අගමැති රනිල්ට ද නොදන්වා කබීර් හෂීම් ඇමති ධුරයේ දිවුරුම් දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස