සජිත් රට පුරා චෛත්‍ය හැදුවාම රට දියුණු වෙයි කියලා හිතන කෙනෙක්!

July 8, 2019 at 5:56 pm | by emanisa.lk

නිරපේක්ෂව ගතහොත්, රටේ ජනාධිපතිධූරයට පත්වන්නට තරම් දේශපාලන වශයෙන්, බුද්ධිමය වශයෙන් ‌හෝ කැරිස්මැටික වශයෙන් සජිත් ප්‍රේමදාස සුදුස්සෙක් නොවේ. ජාතික දේශපාලනය ගැන ඔහු‌‌ගේ සහභාගීත්වයත්, දැක්මත් ඉතාමත් දුප්පත්ය.

එජාප ආණ්ඩු පක්ෂ කණ්ඩායමේ රැස්වීමකදී පවා පසෙකට වී ජංගම දුරකථනය දෙස බලා සිටිනවා විනා කිසිම දෙයක් ගැන කිසිම අදහසක් ඔහු ප්‍රකාශ කළ බවක් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට මතක නැත.

රටේ වැදගත් කාරණා සම්බන්ධයෙන් කිසිම පුවත්පතක විද්‍යුත් නාලිකාවක සජිත් ප්‍රේමදාසගේ සම්මුඛ සාකච්ඡාවක් පළවනවා කිසිවකු දැක නැත.

ඒ වෙනුවට ඔහු කළ ප්‍රතිගාමී කතා දෙකක් නම් මෑතකදී අසන්නට ලැබිණ. එකක් නම්, ජාතික ආරක්ෂාවට සාපේක්ෂව මානව අයිතිවාසිකම් නොසලකා හැරිය යුතු යන්නයි.

දෙවැන්න, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තවත් ශක්තිමත් කර ප්‍රතිත්‍රස්ත පනත විසි කර දැමිය යුතු බවයි.

මෙම කාරණා දෙකෙන් පවා, සජිත් ප්‍රේමදාස කෙබඳු මනසකින් යුක්තදැ’යි පැහැදිළිවම පෙනෙයි. සංයුක්තව කිවහොත්, මංගල සමරවීර වැනි ලිබරල්වාදියෙකු හා සසඳන විට සජිත් ප්‍රේමදාස ඉන්නේ ඊට සම්පූර්ණයෙන් ප්‍රතිපක්ෂ වැඩවසම් චින්තනයක් සහිතවය.

ලංකාව සිංහල බෞද්ධ රටක් නොවේ යැයි මංගල සමරවීර කියන විට, සජිත් ප්‍රේමදාස සිටින්නේ චෙත්‍ය එක්දහස් ගණනක් රට පුරා පන්සල්වල පිහිටුවා රට නගාලිය හැකි යැයි සිතන මානසික මට්ටමකය.

මංගල, සජිත් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි?

එසේ නම්, මංගල සමරවීර සජිත් වෙනුවෙන් පෙනී සිටින්නේ ඇයි? ඔහු කියන්නේ, ‘දිනන්නට හැකි එකම අපේක්ෂකයා සජිත් බව’යි. ඊට හේතු ලෙස ඔහු ඇතුලු සජිත්ගේ අනුගාමිකයන් පෙන්වන්නේ, පසුගිය කාලයේ එජාපය තුළ කළ මත විමසීම්වලට අනුව ඉදිරියෙන්ම සිටින්නේ සජිත් ප්‍රේමදාස බවයි. ගම් මට්ටමේ යූඑන්පී කාරයන් සජිත් ඉල්ලන බවයි.

සජිත් එජා පාක්ෂිකයන් අතර ජනප්‍රියම චරියතය බවට විවාදයක් නැත. එජාපයම කියන පරිදි, පක්ෂයේ ලක්ෂ 30 ක් පමණ වන නිශ්චිත ඡන්ද සංඛ්‍යාව ඒ අනුව සජිත්ට ලැබෙනු ඇත. රනිල් වික්‍රමසිංහ නිසා ඈත් වී සිටින එජාප බිම් මට්ටමේ පාක්ෂිකයන් සජිත් නිසා නව ප්‍රබෝධයක් ලබනු ඇත.

එහෙත්, ඡන්ද ලක්ෂ 30 කින් ජනාධිපතිවරණයක් ජයගත හැකි නොවේ. මෛත්‍රීපාල සිරිසේනට ඒ සඳහා ලක්ෂ 62 ක් වුවමනා විය. මේ ඉතිරි ලක්ෂ 30 ලබා ගැනීමට සජිත්ට හැකිවේද?

සජිත්ගේ ‘දන් දීමේ’ දේශපාලනය !

ඒ ඉතිරි ලක්ෂ තිහ, සජිත් ප්‍රේමදාසගේ ‘දන් දීමේ’ දේශපාලන ප්‍රියකරන්නෝ නොවෙති. ඔවුන්ට ප්‍රිය කරන්නේ ලංකාවේ මානව නිදහස ගරු කරන, මර්දනකාරී නීති හා හිතුවක්කාරී පාලනයක් නැති සමාජයක් බවට පත් කිරීමය.

පුද්ගලයෙකු මත කේන්ද්‍රගත නොවන වඩා ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ඇති කර ගැනීමටය.

19 වැනි සංශෝධනය වෙනුවට, අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කර, පාර්ලිමේන්තුවට සම්පූර්ණයෙන්ම බලය ලැබෙන රාජ්‍ය ව්‍යූහයක් ඇතිකර ගැනීමය.

පළාත් මට්ටමෙන් බෙදා ඇති පාලන බලතල, වඩාත් අර්ථවත් ආකාරයට ශක්තිමත් කිරීමය. ආගමේ ඇලී ගැලී නොසිටින රාජ්‍ය පාලනයක් ඇතිකර ගැනීමය.

සජිත් ප්‍රේමදාස හා ඔහුගේ උනන්දුමත් අනුගාමිකයන් ඒ ගැන කියන්නේ මොනවාද?

(ජුලි 07 ‘අනිද්දා’ පුවත්පතින් උපුටා ගැනිණ)

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස