වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණේ සන්දේශය ඉන්දියාව ප්‍රතික්ෂේප කරයි….!

January 21, 2021 at 5:05 pm | by emanisa.lk

වෘත්තීකයන්ගේ ජාතික පෙරමුණේ සාමාජිකයින් විශේෂ සංදේශයක් බාරදීමට අද (21) කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ගිය අවස්ථාවේ දී කල් තියා වේලාවක් වෙන්කර ගෙන නොපැමිණිම නිසා සංදේශය බාර ගැනීම ප්‍රතික්ෂේප කර තිබේ.

ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියානු සමාගමකට ලබාදීමේ රජයේ තීරණයට විරෝධය පළකරමින්, වහාම එම ගිවිසුමෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටීම සඳහා මොවුන් මෙලෙස සංදේශයක් බාරදීම සඳහා ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට ගොස් තිබේ.

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය, ලංකා ප්‍රගති ගුරු වෘත්තීය සමිතිය, රේගු නිළධාරින්ගේ සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, විදුලි සංදේශ ඉංජිනේරු සංගමය, දේශීය ආදායම් වෘත්තීය සමිති එකමුතුව, රජයේ දේශීය වෛද්‍ය නිළධාරින්ගේ සංගමය, දුම්රිය වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ඇතුළු වෘත්තීය සමිති රැසකින් සමන්විත වන වෘත්තීකයන්ගේ ජාතික පෙරමුණහි සාමාජික පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

මෙම පර්යන්ත ගැටලුව ජාතික ගැටළුවක් දක්වා මේ වනවිට උත්සන්න වී ඇති නිසා මේ පිළිබඳව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දැනුම්වත් කර කෙසේ හෝ මෙම ගිවිසුම නවතා දැමීමට උත්සහ දරන බවත් ඒ සඳහා වෘත්තීය සමිති ලෙස ගත හැකි සියලු ක්‍රියාමාර්ග ඉදිරියේ දී ගන්නා බවත් වෘත්තීකයන්ගේ ජාතික පෙරමුණේ ලේකම් ඉංජිනේරු කපිල රේණුක පෙරේරා සහ උප සභාපති වෛද්‍ය සමන්ත ආනන්ද මෙහි දී පවසා සිටියේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස