රු. කෝටි 5000ක බාල පිළිකා ඖෂධ ගෙන්වීමට සැරසෙයි! මැදිහත් වන්නැයි වෛද්‍යවරු ජනපතිගෙන් ඉල්ලයි!

July 8, 2019 at 8:09 am | by emanisa.lk

සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්නගේ මැදිහත් වීමෙන් රුපියල් කෝටි 5000 ක් වටිනා ප‍්‍රමිතියෙන් තොර බාල පිළිකා ඖෂධ මිලදී ගැනීමට දරන උත්සාහය වහාම නතර කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේනගෙන් ඉල්ලීමක් කර ඇත.

මෙම ඖෂධ මිලදී ගැනීම සඳහා මේ වන විට වසර 15කට බලපැවැත්වෙන පරිදි ගිවිසුමක් අත්සන් කිරීමට යන බවත්, ජනාධිපතිවරයා එ් සම්බන්ධයෙන් දැනුම්වත් කළ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ ඊයේ (07දා) පැවසීය. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරිය හා විගණකාධිපතිවරයා දැනුම්වත් කිරීමට පියවර ගත් බවද ඔහු කීය.

ඖෂධයක් මිලදී ගැනීමට පෙර ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය ලබා ගත යුතු නමුත් රුසියාවෙන් ගෙන්වීමට යන ඖෂධ සඳහා එවැනි අනුමැතියක් ලබාගෙන නැතැයිද ඔහු කීය. මෙම අත්සන් කිරීමට යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ද ජනාධිපතිවරයා දැනුම්වත් කර ඇතැයි හෙතෙම සඳහන් කළේය.

මෙම ඖෂධය මිලදී ගැනීම සඳහා යෝජිත ගිවිසුමට අත්සන් කළහොත් රජයට සිදුවන රුපියල් කෝටි 5000 ක ආර්ථික පාඩුවට අමතරව ප‍්‍රමිතියෙන් තොර ඖෂධ ලබාගැනීම, වසර 15 ක් යනතෙක් කිසිදු රජයකට ප‍්‍රමිතියෙන් යුතු නව ඖෂධයක් මිලදී ගැනීමට නොහැකිවීම, (මෙම ඖෂධය අත්හිටුවනු ලැබුවහොත් වන්දියක් ගෙවීමට සිදුවීම නිසා) ඇතුළු ගැටලු රැසකට මුහුණ දීමට සිදුවන බවද වෛද්‍ය අලුත්ගේ පැවසීය.

රුසියාවෙන් ගෙන්වන පිළිකා ඖෂධ අතර මේවන විටත් පියයුරු පිළිකා සඳහා ගෙන්වන ඖෂධය ප‍්‍රමිතියෙන් තොරවීම නිසා පිළිකා රෝග විශේෂඥයන් රැසක් එම එන්නත රෝගීන්ට ලබාදීම ප‍්‍රතික්ෂේප කර ඇතැයි වාර්තා වී තිබෙන බවත් ඔහු වැඩිදුරටත් හෙළි කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස