අපි හොරකම් කළත් මිනී මැරුවේ නෑ! රජය නැවත ගන්න ශක්තිය ලැබුවේ තැලසීමියා දරුවන්ගෙන්! මාස දෙකෙන් ඖෂධ හිඟය ඉවරයි!

February 11, 2019 at 11:08 am | by admin

වත්මන් රජයේ ඇතැම් සොරකම් තිබුණත් පසුගිය රජය මෙන් මිනී මැරුම්, පැහැරගැනීම් සිදු කර නොමැති බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙහිදී වැඩිදුරටත් අදහස දැක්වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ,

“දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය සමයේ මට ආත්ම ශක්තියක් ඇති වූයේ දරුවන්ගේ ඉල්ලීමකටයි. තැලසීමියා රෝගීන් වෙනුවෙන් මහනුවර මහ රෝහලේ ඉදිකෙරෙන වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් කටයුතු නතර වූ බව ඔවුන් මට දැනුම් දුන්නා. නමුත් මම එම දරුවන්ට ප්‍රකාශ කළා තැලසීමියා වාට්ටු සංකීර්ණය ඉදිකර අප්‍රේල් මාසයේ දී විවෘත කරන බව. මම යළි රජය ලබාගැනීමේ සටන ආරම්භ කිරිමට ආත්ම ශක්තිය ලැබුනේ එම දරුවන්ගේ ඉල්ලීම මතයි. එදින සිට අරලියගහ මන්දිරය සටන් මධ්‍යස්ථානය කර ගනිමින් රජය යළි ලබාගැනීමේ අරගලය ආරම්භ කළා.”

“දින 53 ක් පුරා පැවැති දේශපාලන අර්බුදය හේතුවෙන් ඖෂධ හිඟයක් මතු වුණා. එම ඖෂධ හිඟය මගහරවා ගැනීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන තිබෙනවා. පිළිකා රෝගීන්ට අවශ්‍ය ඖෂධ අවස්ථා 03 කදී ගුවන් මගින් ලංකාවට ගෙනවිත් තිබෙනවා. මාර්තු මාසය අවසන් වන විට ඖෂධ හිඟය අවසන් කිරීම මගේ බලාපොරොත්තුවයි.”

“පසුගිය වසර 03 තුළ මම කිසිදු ඖෂධයක් හිඟයකින් තොරව ලබාදුන්නා. ඕනෑම දෙයක් වනසන්න ගත වන්නේ කෙටි කාලයයි. නමුත් එය යළි සැකසීමට දීර්ඝ කාලයක් ගත වෙනවා. දුප්පත් ජනතාව වෙනුවෙන් මේ වනවිට ඖෂධ වර්ග 73 ක මිල අඩු කර තිබෙනවා. තවත් ඖෂධ වර්ග 27 ක මිල අඩු කිරීමට පියවර ගන්නවා.”

රාජිත සේනාරත්න පදනමේ පානදුර ආසනයේ තරුණ බල මණ්ඩලය පිහිටුවීමේ උත්සවයට එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස