රසායනික පොහොර තහනමින් හරිතාගාර කෘෂිකර්මය ඉවරයි….! රට බැමිණිතියා සාය වගේ මහා දුර්භික්ෂයකට හසුවෙනවා…! කෘෂිකර්ම ලේකම් ගෙදර ගියේ ඒ විනාශයට අත ගැසිය නොහැකි නිසයි…!

June 7, 2021 at 9:05 pm | by emanisa.lk

හිටපු දකුණු පළාත් ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් සිය ෆේස්බුක් පිටුවේ තබා ඇති සටහනකි.

කෘෂිකර්ම ලේකම් රෝහණ ඉල්ලා අස්වූනේ ඇයි?

කෘෂිකර්ම ලේකම් තනතුරේ වැඩ කරන්නට බැරි තැන කෘෂිකර්ම ලේකම් එම්.බී. රෝහණ පුෂ්පකුමාර සිය ඉල්ලා අස්වීමේ ලිපිය යවා ඇත. රෝහණ ඉල්ලා අස්වීම මට නම් පුදුමයක් නොවේ. ඔහු ඉල්ලා අස් නොවුණා නම් තමයි පුදුම! හිටපු නුවරඑළිය හා වව්නියාව දිසාපතිවරයා ද, හඟුරන්කෙත ප්‍රා.ලේ. ද වූ රෝහණ සිංහල දෙමළ භාෂා දෙක ම කතා කරන්නට දන්න දක්ෂ පරිපාලන සේවා නිලධාරියෙකි.

කෘෂිකර්ම ලේකම් ධූරයට පත් වන්නට පෙර නුවරඑළිය දිසාපති ලෙස ඔහු මා මධ්‍යම ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන විට එකට වැඩ කළේය. කවදාවත් ප්‍රශ්න නොතිබුණු රෝහණ හැමදාම ‘අපි මෙහෙම කරමු‘ යැයි කියන ධනාත්මක මිනිසෙකි. අතිශයින් සංකීර්ණ නුවරඑළිය දේශපාලනයේ සෑම පාර්ශ්වයක ම ගෞරවය දිනූවෙකි.

තමන්ගේ නිල නිවසේ ද අර්තාපල් හදා තිබූ ඔහු ඇසූ පිරූ තැන් ඇති ගොවියෙකි. වව්නියාවේ දිසාපති ලෙස කටයුතු කරන විට ඔහු එහි ඉතා විශ්ෂ්ට කාබනික පොහොර නිෂ්පාදන ඒකකයක් හැදූ දක්ෂයෙකි. පරිපාලන සේවය තරමට ම මහ පොළොවේ කෘෂිකර්මය ද රෝහණ දන්නේය.

පස්සර සාමාන්‍ය පවුල උපන් රෝහණට 70-80 දශකවල ඔහුගේ අම්මා වත්තේ දළු කඩා උගන්වා ඇත. දෙවනුව, රෝහණ ඉගෙන ගත්තේ හතර වටේ එළවළු වගා කරන බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ය. දමන හිඟුරාන සීනි සමාගමේ රස්සාවට ගිය රෝහණ, එය නගා සිටවූවේය. හඟුරන්කෙත එදා මෙදා ඉතිහාසයේ විශිෂ්ටම ප්‍රා.ලේ. මේ රෝහණය. පසුව ඔහු එක තැන පල්වෙමින් තිබුණු හදබිම අධිකාරිය වෙනස් කළ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විය.

කෘෂිකර්මයට අදාළ සෑම තැනම සිය සුවිශේෂ අනන්‍යතාව සනිටුහන් කළ පරිපාලන (සේවා) නිලධාරියා, අමාත්‍යාංශ ලේකම්වරයා වී ‘මාගේ කාලය තුළ කාබනික පොහොර වගාව ක්‍රියාත්මක කළ යුතු යැයි හීන දකින ඇමතියෙකු නිසා ඉල්ලා අස්වී යන්නේය. රෝහණගේ ඉල්ලා අස්වීම ගැන මම පුදුම නොවන්නේ ඒ නිසාය.

ව්‍යාපාරික කෘෂිකර්මය නඟා සිටුවීමට නුවරඑළිය දිසාපති ලෙස රෝහණ බොහෝ දේ කළේය. හරිතාගාර කෘෂිකර්මය ඒ අතර ප්‍රමුඛය. අණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරද්දී මම කෘෂිකර්මය පිළිබඳ ඔහුගේ විශිෂ්ටත්වය දුටිමි. දැන් ආණ්ඩුව ඩොලර් කාබාසිනියා කරන ‘කෘෂිකර්ම නවීකරණ‘ වැඩසටහනේ නියමු ව්‍යාපෘති බොහෝමයක් ඇරඹියේ රෝහණ නුවරඑළියේ දිසාපති සමයේ ය.

පොහොර ආනයනය තහනම් කිරීමේන් රෝහණ ම ගොඩනැගු හරිතාගාර කෘෂිකර්මය සම්පූර්ණයෙන්ම විනාශ වන බව ඔහු හොඳින්ම දන්නේය. රෝහණගේ ඉල්ලා අස්වීම ගැන මම පුදුම නොවන්නේ ඒ නිසාය.
වව්නියාවේ දිසාපති ලෙස ‘කැලෑ කොළ කාලා ජීවත්වෙන‘ මිනිස්සු සමඟ රෝහණ කටයුතු කළේය. ඉරිඟු, වට්ටක්කා සහ කිරි කා නියං කාලය ජීවත්වන වන්නි හත්පත්තුවේ මිනිස්සුන්ට පොහොර තහනම මාරාන්තික වන්නේය. රෝහණගේ ඉල්ලා අස්වීම ගැන මම පුදුම නොවන්නේ ඒ නිසාය.

71 කැරැල්ලේ දී පස්සර සම සමාජ පක්ෂයේ සංවිධායකවරයා වූ රෝහණගේ අයියා ජවිපෙ සාමාජිකයෙකු ලෙස සලකා මරා දමන ලද්දේ, (සමසමාජ – ජවිපෙ වෙනස නොදන්නා උන්) ය. රෝහණගේ අම්මා, තේ වත්තේ දළු කඩා පවුල් නඩත්තු කළ බව රෝහණ ප්‍රසිද්ධියේ කියා ඇත. දැනටමත් පස්සර, බණ්ඩාරවෙල, වැලිමඩ, මාතලේ පමණක් නොව වැවිලි ඇමති, පොහොර ඇමතිවරුන්ගේ ඡන්ද බලප්‍රදේශය වන ගාල්ලේ වතු කම්කරුවන්ට දළු කඩා ලැබෙන ආදායම නැත.

හඟුරන්කෙත, නුවරඑළියේ වතු කම්කරුවන්ට, දරුවන්ට පොහොර තහනම කුසගින්න කැඳවන බව රෝහණ දන්නේය. පොහොර තහනම, අම්පාරේ දමන දරුවන් පාසල් රැස්වීමේ කලන්තේ දමා වැටෙන යුගයක් ඇති කරන බවත්, ඒ පාපයට තමන් අත්සන නොගැසිය යුතු බවත් දන්නේය. රෝහණගේ ඉල්ලා අස්වීම ගැන මම පුදුම නොවන්නේ ඒ නිසාය.

වව්නියාවේ කාබනික පොහොර හැදු රෝහණ කාබනික පොහොර හදන හැටිත්, හදන්න බැරි හැටිත් හොඳින්ම දන්නේය. ශාක නිරෝධායන පනත ගැනත් (ජගත් ගුණවර්ධන මහතාගේ ලිපිය බලන්න) කොම්පෝස්ට් ගැන නීතියත් රෝහණ හොඳින්ම දන්නේය. රෝහණගේ ඉල්ලා අස්වීම ගැන මම පුදුම නොවන්නේ ඒ නිසාය.

‘ආහාර සුක්ෂිත භාවය පිළිබඳ‘ හොදින්ම දන්නා පරිපාලන සේවා නිලධාරීන් අතර රෝහණ අංක එක නැත්තම් දෙක මිස තුන නම් නොවේ. කහ, කුරහං, උදු, තල, වගාවෙන් රට ස්වයංපෝෂිත වන ප්‍රතිපත්තිය මිස පොහොර නැතිව රට දුර්භීක්ෂයකට ගෙන යන ප්‍රතිපත්තිය අතර වෙනස රෝහණ නොදන්නේ නැත. රෝහණ අවසාන කෘෂිකර්ම රැස්වීමේ දී මේ කථාව වගකිවයුත්තන්ට සුද්දයෙන්ම කියා ඇත. රෝහණගේ ඉල්ලා අස්වීම ගැන මම පුදුම නොවන්නේ ඒ නිසාය.

තේ වතු අතර හැදුණු සිංහල – දෙමළ භාෂා චතුර ලෙස කථා කළ හැකි, උක් වගාව, ආහාර සුරක්ෂිතභාවය, කාබනික පොහොර, පොලිටනල් වගාව, දියර පොහොර කෘෂිකර්මය, දිලීර නාශක, කෘමිනාශක ගැන අතැඹුලක් සේ දන්නා මිනිසෙකු කෘෂිකර්ම ලේකම් වී එම කේෂ්ත්‍රයේ බොහෝ සාධනීය දේ කෙටි කලක් තුල සිදු කර ඇත.
ඒ මිනිසාට චීනයේ නාගරික අපද්‍රව්‍ය ඩම්පින් යාඩ් එකක් බවට පත් කිරීමේ ලේඛනයට අත්සන් තැබීමට අවසානයේ බල කර ඇත. දින තුනක් තුල දෙවරක්ම ‘‘මා සමඟ වැඩ කරන්නට බැරි නම් යන්න‘‘ යැයි කියා ඇත්තේ අනාගත අගමැති සිහිනයේ සිටින දේශපාලනඥයෙකි. නොරච්චෝල විදුලි බලාගාරය වැනි, චීනය සමඟ ගනුදෙණු කිරීමේ රස හොඳින්ම දන්නා දේශපාලනඥයෙකි.

පොහොර කෘෂි රසායන තහනම ක්‍රි.පු. 103 – 89 සමයේ වලගම්බා රජ දවස ‘බැමිණිතියා සාය‘ නිසා සිදු වූ විනාශයට නැවත කැන්දනු ඇත. ගෙඩි, අල හැදෙන හැම ගහක්ම විනාශ කරමින් 1817 -1818 සුද්දා ‘ඌව වෙල්ලසට කරපු අපරාධයට‘ වඩා වැඩි හානියක් ලංකාවේ හැම බිම් අඟලකටම සිදු කරනු ඇත්තේය. දිලීර මර්දනය එක් දවසකින් අතපසුවන විට නුවරඑළිය එළවළු වගාව, දඹුල්ල බී ළුණු වගාව විනාශ වන හැටි රෝශණ ඇස් දෙකෙන් දැක ඇත. කළ පුරුද්දෙන් අත් දැක ඇත. රෝහණගේ ඉල්ලා අස්වීම ගැන මම පුදුම නොවන්නේ ඒ නිසාය.

ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර ආනයනය ලංකාවේ නීතියට පටහැනි බව විශේෂ ශ්‍රේණියේ පරිපාලන නිලධාරියෙකුට නොතේරෙන්නේ නැත. ප්‍රතිපත්ති ගරුක පරිපාලන සේවා නිලධාරියෙකුට මෙවැනි අනීතික කටයුත්තකට අත්සන ගහනවා වෙනුවට වැටුප් ලබමින් ‘වතුර නැති රාජ්‍ය පරිපාලන පූල් එකේ පිහිණීම‘ පහසු තෝරා ගැනීමකි.

මහවැලි කලාප කුඹුරු හෙක්ටයාර 110,000 කට වී වගාවට පමණක් කාබනික පොහොර ටොන් ලක්ෂ 12 ක් අවශ්‍ය බව රෝහණ නොදන්නේ නැත. වී වගාවට පොහොර ටොන් තුන් ලක්ෂ අසූ දෙදහසක්, (382,000ක් ) ,තේ වගාවට පොහොර ටොන් තුන් ලක්ෂ එකොළොස්දහසක් (311,000 ක් ), පළතුරු වගාවට පොහොර ටොන් 163,779 ක් අවශ්‍ය බව දන්නා පරිපාලන සේවා නිලධාරියා ‘‘මේ වැඩේ එකවරම කරන්න බෑ. පියවරෙන් පියවර කරන්න ඕනි‘‘ යැයි කීම ගැන අප පුදුම විය යුතු නැත.

පොහොර ටොන් 1,230,031 (දොළොස් ලක්ෂ තිස් දහසක්) ක ලංකාවේ රසායන පොහොර අවශ්‍යතාව නීති විරෝධී ගැසට් එකකින්, නියෝගයකින්, ශාක හා සත්ව නිරෝධායන නියෝගයකින් ඉටු කළ නොහැකි බව රෝහණ දනී. ආහාර වගාව මේ තත්වයෙන් පවත්වාගෙන යාමට කාබනික පොහොර ටොන් ලක්ෂ එක්දහස් දෙසීයක් (123,003,100) අවශ්‍ය බව රෝහණ වැන්නවුන් දනී.

රෝහණ කාබනික පොහොර ටොන් ලක්ෂ එක්දහස් දෙසීයක් හදන්නට බෑ කියූවේ නැත. එය කළ යුතු බවත්, කළ හැකි බවත් කීවේය. එය එක වර ම කළ නොහැකි බවත්, කරන්නට කාලයක් අවශ්‍ය බවත් ඇත්ත කිව්වේය.
‘තනතුර රැකගන්නවාට වඩා තම ආත්මාභිමානය රැක ගැනීමට ශක්තිය‘ අවශ්‍යය. රෝහණ පුෂ්පකුමාර කෘෂිකර්ම ලේකම්වරයාට එම ශක්තිය ඇති බව ඔහු ක්‍රියාවෙන් පෙන්වා ඇත.

රජිත් කීර්ති තෙන්නකෝන්
දකුණ හා මධ්‍ය පලාත් හිටපු ආණ්ඩුකාර

 
 


Leave a Reply

Your email address will not be published.

මුල් බිස්ස