පිටරටින් ගෙනැත් විකුණන එක හරි ලේසියි! අපි තෝරගත්තේ රට හදන වැඩපිළිවෙළක්! – ජනපති…

December 11, 2020 at 1:47 pm | by emanisa.lk

සෑම දෙයක් ම පිට රටින් ගෙනැවිත් අලෙවි කිරීම පහසු වුව ද තම රජය තෝරා ගත්තේ ශක්තිමත් ආර්ථිකයක් ගොඩ නඟන ක්‍රමවේදය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

පෞද්ගලික ව්‍යවසායකයන් සමග ඊයේ (10) සවස ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ඔහු මේ බව පැවසීය.

“හැමදේ ම ආනයනය කොට අලෙවි කරන්න පහසුයි. එහෙම කළොත් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න බැහැ. ආර්ථික වර්ධනය සිදු විය යුත්තේ සමාජයේ සෑම ස්ථරයක්ම ආරක්ෂා වන අයුරින්. ඒ සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය සහ නව ප්‍රවේශයන් ඉතා වැදගත්.

සමාජයේ සෑම ස්ථරයකටම ඉහළ ආර්ථික ශක්තියක් අත්කර දීම ප්‍රමුඛ අවශ්‍යතාවක්. අපේ රටේ ජනගහණයෙන් 35%ක් ගොවීන්. ජනගහණයෙන් 70%කම ජීවනෝපායට කෘෂිකර්මාන්තයේ සම්බන්ධතාවක් තිබෙනවා. මේ ක්ෂේත්‍රයේ ඵලදායීතාව වර්ධනය කරන අතර, තරුණයන් ඊට ආකර්ශණය කරගත යුතුයි.”

ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයක ම සමබර වර්ධනයක් ඇති කිරීම සිය අරමුණ බව කී ජනාධිපතිතුමා ඊට ඉවහල් වන සැලසුම් ඉදිරිපත් කරන ලෙසත්, ඒ සඳහා ඇති බාධක හඳුනා ගන්නා ලෙසත් පෞද්ගලික අංශයට යෝජනා කළේය.

මෙම හමුව සඳහා සංචාරක ව්‍යාපාරය, ගොඩනැගිලි සහ මාර්ග ඉදිකිරීම්, සන්නිවේදන තාක්ෂණය, හෝටල් ව්‍යාපාරය, ශාඛ නිෂ්පාදන, පශු නිෂ්පාදන, කිරි කර්මාන්තය, ලුණු නිෂ්පාදනය, කෘෂි නිෂ්පාදන, සුළු අපනයන භෝග, කාබනික ගොවිතැන ආදී ක්ෂේත්‍ර ගණනාවක ප්‍රමුඛ පෙලේ ආයතනවල ප්‍රධානීහූ එක්ව සිටියහ.

ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගීමට ජනාධිපති රාජපක්ෂ අනුගමනය කරන ස්ථීර සාර සහ විධිමත් ප්‍රතිපත්ති ගැන ප්‍රසාදය පළ කළ ව්‍යවසායකයෝ 2021 අයවැයෙන් ආර්ථික වෘද්ධිය සදහා සපයා ඇති සහන පිළිබඳව මහත් සේ පැසසුම් කළහ.

තම ව්‍යාපාරික ක්ෂේත්‍රවල වත්මන් තත්ත්වය ගැන ජනාධිපතිතුමාට පැහැදිළි කළ ඔවුහු තමන් වර්තමානයේ මුහුණ දෙන ගැටළු විස්තර කළහ. පුහුණු ශ්‍රම හිඟය, ආයතිනක අකාර්යක්ෂමතාව, ගොඩනැගිලි ද්‍රව්‍ය හිඟය, ඇතැම් ශ්‍රමිකයන්ගේ උදාසීනතාව සහ නව වෙළෙඳපොළ සොයා ගැනීමේ අපහසුව ඔවුන් සඳහන් කළ ප්‍රධාන ප්‍රශ්න අතර විය.

ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටළු අධ්‍යයනය කොට විසඳුම් සපයන බව ජනාධිපතිතුමා ව්‍යවසායකයන්ට පැවසීය.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල ද සාකච්ඡාවට සහභාගී වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස