රසායනික පොහොර ඉල්ලන අය වකුගඩුවකුත් ඉල්ලන්න…! වස කොම්පැනිවල සල්ලිවලට කෑ ගසන බලවේගවලට මම බය නෑ…! – ජනපති…

October 25, 2021 at 10:05 am | by emanisa.lk

තමාට අවශ්‍ය ඡන්දය නොව නිවැරදි දේ කිරීමට බවත් රසායනික පොහොර ඉල්ලන අය අනෙක් පැත්තෙන් වකුගඩුවකුත් ඉල්ලා සිටිය යුතු බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා පැවැසීය.

හාල්, පරිප්පු මිල බලන්න ජනාධිපතිවරයෙක් අවශ්‍ය නැති බවත් රසායනික පොහොර නිෂ්පාදන සමාගම් විවිධ බලවේග උසි ගන්වමින් බාධා කළත් ඒ කිසිවකට තමන් බිය නොවන බවත් උඩුබද්දාව ප‍්‍රාදේශීය සභා භූමියේ ඇති කසළ ප‍්‍රතිචක‍්‍රීකරණ මධ්‍යස්ථානය නිරීක්‍ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිවරයා පෙරේදා (23 දා) පැවැසීය.

උඩුබද්දාව, බුන්නැහැපොළ කාබනික පොහොර සැකසුම් මධ්‍යස්ථානය හා කාබනික වගා බිම් නිරීක්‍ෂණ සඳහා ද ජනාධිපතිවරයා එක්විය.

රසායනික පොහොර තහනම අලූතෙන් දාපු දෙයක් නෙවෙයි. සෞභාග්‍යයේ දැක්ම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ රසායනික පොහොර පාවිච්චිය නතර කරන බවට සටහන් කර තිබෙනවා. මම හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ කෙනෙක්. මගේ අම්මයි තාත්තයි වගා කරලා තියෙනවා දැකල තිබෙනවා. මම ගත්ත මේ තීරණය කිසිම නායකයෙක් ගත්තේ නැහැ. අපි දිය ඇලිවල නෑවා. අද නාන්න බැහැ. නෑවොත් වෙන්නේ මළ මිනියක් වෙලා එන්න.

මම ප‍්‍රමුඛත්වය දුන්නෙ ගොවීන්ට. ඒ තැබූ විශ්වාසය කඩ කරන්නෙ නැහැ. ගොවි ජනතාව හොඳ නරක විමසා තීරණ ගන්න. මිනිස්සු අවුස්සන දේශපාලනයට හසුවන්න එපා. අනාගත පරපුර වෙනුවෙන් පෙළගැහෙන්න කියලා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

මට අවශ්‍ය ඡන්දය නොවෙයි. ජනතාවට නිවැරදි දේ කිරීමයි. ඒ වෙනුවෙන් නොබියව තීරණ ගනිමින් ජනතා අවශ්‍යතා පමණක් බැලීමට මා කටයුතු කරනවා.

ලෝකයේ රසායනික පොහොර නිෂ්පාදන සමාගම් විවිධ බලවේග උසි ගන්වමින් බාධා කරනවා. ඒ කිසිවකුට මා බියවන්නේ නැහැ. ජනතාව මාව නායකයා ලෙස තෝරා පත්කරගත්තෙ නිවැරදි තීන්දු තීරණ ගැනීමටයි.

කාබනික පොහොර වලින් වගාවන් සිදුකරන විට අපිට කියන්න පුළුවන් ශ‍්‍රී ලංකාව රසායනික පොහොර නැතිව ගොවිතැන් කරන රටක් බව. මේ හරහා සංචාරක කර්මාන්තයට පිරිස් ගෙන්වා ගන්න පුළුවන්. වෙළෙඳපොළක් ඇතිකරන්න පුළුවන්.

වී වලට සහතික මිලක් වැඩිකළා. අද කවුරුත් මේ ගැන කතා කරන්නෙ නැහැ. හොඳ දේ කරන්න අමාරුයි. අපේ රටේ තෙල්, ගල්අඟුරු, ගෑස් නැහැ. අපි තාම මේවා පාවිච්චි කරනවා. අපිට සුළං සූර්යාලෝකය හොඳට තියෙනවා. අපි මේවාට යන්නේ නැත්තෙ ඇයි? ඇයි මේවාට බියවෙන්නෙ කියලා හිතෙනවා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස