රටේ සම්පත් හිතුමතේ විකුණා දැමීම ජාතික ආරක්ෂාවට බලපනවා! ජාතික නායකයෙක් නැත්නම් ජාතික ආරක්ෂාවට ආර්ථිකයට සංස්කෘතියට පැවැත්මක් නෑ! – ජෙනරාල් බොනිෆස් පෙරේරා

July 31, 2019 at 3:54 pm | by emanisa.lk

රටේ පළමු දෙවෙනි පාලකයන් දුර්වල වන විට ඉන් පහළ ඇති පාලනාධිකාරි ද ක්‍රමයෙන් දුර්වල වී සමස්ත ජාතියම දුර්වල වන බව ජෙනරාල් බොනිෆස් පෙරේරා පවසයි. වියත්මග සංවිධානය රට සහ හෙට මැයෙන් කුරුණෑගල (27) පැවැත් වූ සමුළුවට එකතු වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. එහිදී හෙතෙම වැඩි දුරටත් මෙසේ පැවසීය.

“එදා 1983 දී එල්ටීටීඊය එල්ල කළ බෝම්බය පිපිරුණේ නැති නිසා මම තවමත් ජීවත් වීමට වාසනාවන්ත වුණා. බුලට් එකක් ඔලුවට උඩින් ගිය රඟ දන්න කෙනෙක්ට තමයි රටක ජාතික ආරක්‍ෂාව ගැන කතා කිරීමේ අධිකාරි බලයක් තිබිය යුත්තේ. ගෝඨාභය රාජපක්‍ෂ ආරක්‍ෂක ලේකම් ධූරයට නිසි ලෙස දැරුවෙත් එතුමාගේ ඔලුව උඩිනුත් බුලට් ගිය නිසයි.

ලෝකයේ ඕනෑම රටක, සමාජයක පැවැත්ම රඳා පවතින්නේ ජාතික ආරක්‍ෂාව මතයි. අපිට යුද්ධය අවසන් කරන්න පුළුවන්කම ලැබුණේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ජනාධිපති, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ යන මහත්වරුන්ගේ ආශිර්වාදයෙන් සහ ජනතාවගේ එකමුතුකම නිසයි. ඒ එකමුතුකම ඇති කළේ එල්ටීටීඊය සංවිධානයයි.

ඇමරිකාව ලෝකයේ සුපිරි බලවතා. ඇමරිකාවට පුළුවන් මේ පෘතුවිය පස් වතාවකට පුපුරලා දාන්න. ඇමරිකාවට අභියෝග කරන්න පුළුවන් බලවතෙක් තවම බිහි වෙලා නැහැ. ඔවුන් යුදමය, තාක්‍ෂණික අතින් ශක්තිමත්. නමුත් ත්‍රස්තවාදීන් පරාජය කිරීම අතින් අපි ඉදිරියෙන් සිටිනවා.

ජාතික ආරක්‍ෂාව කියන්නෙ වෙඩි තබන එක පමණක්ම නෙමෙයි. ජාතික ආරක්‍ෂාව භාරව ක්‍රියා කරන නිලධාරීන්ට ආරක්‍ෂාව ගැන පුළුල් විෂය දැනුමක් තිබිය යුතුයි. හිතුමතේට සම්පත් විකුණා දැමීම රටක ජාතික ආරක්‍ෂාවට බලපානවා. ජාතික නායකත්වයක් නැතිනම් ජාතික ආරක්‍ෂාවක්, ආර්ථිකයක්, සංස්කෘතියක් නැහැ.

රටේ පළමු වැනියා දුර්වල නම් දෙවැනියාත් දුර්වලයි. දෙවැනියා දුර්වල නම් මන්ත්‍රී කණ්ඩායමත් දුර්වලයි. මන්ත්‍රී කණ්ඩායමත් දුර්වල නම් රටේ ආගමික නායකයනුත් දුර්වල වෙනවා. ආගමික නායකයන් දුර්වල වෙනවා නම් මහජනතාවත් දුර්වල වෙනවා. අද රටේ ස්වභාවික ව්‍යසන වැඩි වෙලා තිබෙනවා. ස්වභාවික විපත්වලට හේතුව සමස්තය දුර්වල වීම නිසයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස