මා දේශපාලනයෙන් සමුගන්නේ ඔබ වැනි යුද විරුවන් පාර්ලිමේන්තු ආ නිසයි! ඔබ පාර්ලිමේන්තු ආවේ ඔබ අද ගරහන රනිල්ගේ අනුකම්පාව නිසයි! – මංගලගෙන් ෆොන්සේකාට දැඩි ප්‍රහාරයක්…

June 22, 2020 at 7:37 pm | by emanisa.lk

සරත් ෆොන්සේකා වැනි යුද පිටියේ සිටිය යුතු අය නොදන්නා දේශපාලනයකට පැමිණීම තමන් දේශපාලනයෙන් සමු ගැනීමට එක් හේතුවක් යයි හිටපු ඇමති මංගල සමරවීර පවසයි.

මංගල සමරවීර මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වීම සමගි ජන බලවේගයට ආශීර්වාදයක් යැයි සරත් ෆොන්සේකා විසින් කරන ලද ප‍්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති අදාල සම්පූර්ණ සටහන මෙසේය.

හිතවත් සරත්,

ඔබගේ දේශපාලන පාරාජිතභාවය මගේ නමට බැර කිරීමට දරන උත්සාහය පිළිබඳ පළමුව කනගාටු වෙමි.

ඔබගේ දේශපාලන විවේචනය සාධාරණ නම්, ඔබගේ නායකත්වයෙන් යුතු ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ 2015 වර්ෂයේ මහ මැතිවරණයට තරඟ කර කොළඹ දිස්ත්‍රික්කයෙන් ඡන්ද 5,238 (0.43%)ක් ද මුළු ලංකාවෙන්ම ඡන්ද 28,587 (0.26%) ලබා අන්ත පරාජයට පත් වූයේ ද මාගේ දේශපාලන භාවිතාව නිසා දැයි දැන ගැනීමට කැමැත්තෙමි.

අනෙක පසුගිය ජනාධිපතිවරණයේ දී ඔබ නායකත්වය ලබාදුන් කැලණිය ආසනයෙන් සජිත් ප්‍රේමදාස මහතා ඡන්ද 16,147කින් පරාජය වූයේ ඔබගේ දේශපාලන පාරිශුද්ධකම නිසා දැයි නොදනිමි.

වැඩිදුරටත් ඔබගේ දැනගැනීම පිණිස මෙසේ ද සටහන් කරමි.

මා 1989 සිට මේ දක්වා පැවැති සියලු මැතිවරණ සඳහා තරඟ කර ඇති අතර ඒ සෑම අවස්ථාවක දීම මාගේ ප්‍රතිපත්ති හා මාගේ දේශපාලන විශ්වාසයන් ඍජුව ප්‍රකාශ කරමින්, මා ජයග්‍රහණය කළා පමණක් නොව මා නියෝජනය කළ දේශපාලන පක්ෂය ද ජයග්‍රහණය කරවා ඇත.

රනිල්ට පිං සිදුවෙන්න පාර්ලිමේන්තුවට ආ හැටි…

”අද ඔබ තැන තැන වේදිකාවල ගරහමින් සිටින්නේද එදා පරාජිත ඔබ පාර්ලිමේන්තුවට කැඳවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදුන් එම නායකයාටම බව අමතක නොකරන ලෙස ද ඉල්ලා සිටිමි.”

නමුත් 2015 පරාජිත ඔබට ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් හිමි වූයේ ද එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතාගේ අභාවය නිසා මන්ත්‍රීධූරයක් පුරප්පාඩු වූ විට එක්සත් ජාතික පක්ෂයේ නායක ගරු රනිල් වික්‍රමසිංහ මහතාගේ අනුකම්පාවේ පිහිටෙන් බව මතක් කර දෙමි.

අද ඔබ තැන තැන වේදිකාවල ගරහමින් සිටින්නේද එදා පරාජිත ඔබ පාර්ලිමේන්තුවට කැඳවා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් ලබාදුන් එම නායකයාටම බව අමතක නොකරන ලෙස ද ඉල්ලා සිටිමි.

ඒ වගේම මා පාර්ලිමේන්තු දේශපාලනයෙන් සමුගැනීමට හේතු වූ කරුණු අතර ඔබ වැනි යුධ පිටියේ සිටිය යුතු යුද විරුවන් නොදන්නා දේශාපාලනයක් සඳහා පාර්ලිමේන්තුවට කැඳවීම ද එක් කරුණක් බව සිහිපත් කරමි.”

– මංගල සමරවීර

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස