මහ බැදුම්කර මංකොල්ලය රටේ ආර්ථිකය සමූල ඝාතනය කළ හැටි! – ආචාර්ය නාලක ගොඩහේවා

February 27, 2019 at 2:05 pm | by admin

කුප්‍රකට මහා බැඳුම්කර වංචාව සිදු වී වසර හතරක් පිරීම නිමිත්තෙන් වියත්මග සංවිධානය පැවැත්වූ මාධ්‍ය හමුවේදී ආචාර්ය නාලක ගොඩහේවා මෙම අදහස් දැක්වීම කළේය.

2014 වන විට 7% කට ඉහල වර්ධන වේගයක් සහිතව ආසියාවේ 2 වෙනියට වේගයෙන්ම වර්ධනය වෙමින් තිබුන රට වූ ලංකාවේ ආර්ථිකය අද ආසියාවේ දුර්වලම ආර්ථිකයක් බවට පත් වී ඇත. 2018 වසරේ 3.3% ක් පමණ වූ ලංකාවේ ආර්ථික වර්ධන වේගය තිබෙන්නේ බංගලාදේශය ( 7.4%) , නේපාලය (7.9%), බූතානය ( 7.4%), ලාඕසය (6.9%) ඉන්දියාව (6.7%), පාකිස්ථානය (5.4%), මාලදිවයින ( 4.8%) යන සියලු රටවලට පිටුපසිනි. ආර්ථික වර්ධන වේගය අතින් අප සිටින්නේ අදත් ත්‍රස්තවාදයෙන් බැටකන ඇෆ්ගනිස්ථානය සමඟ දකුණු ආසියාවේ අවසාන ස්ථානය සඳහා කරට කර සටනකය. මහ බැඳුම්කර මංකොල්ලය මේ හානියට ප්‍රධානතම හේතුවක් විය.

2014 වන විට 30 අවුරුදු බැඳුම්කරවල පොලී අනුපාතය තිබුණේ 10% ට අඩු අගයක. 2015 පෙබරවාරී මාසයේ මහ බැඳුමකර මංකොල්ලයේදී සිදු වූයේ පර්පෙචුවල් ට්‍රෙෂරීස් ආයතනයට 12.5% ක පමන ඉහළ අගයකට බැඳුම්කර නිකුත් කිරීම නිසා රටේ සමස්ථ පොලී අනුපාතය 3% කින් පමණ ඉහළ යාමයි. මේ වන විට දේශීය රාජ්‍ය ණය් රුපියල් ට්‍රිලියන 3 1 /2 ට වඩා තිබුණ අතර මේ සියල්ලටම ඉහළ පොලී අනුපාතය බලපෑවේය. පලවන මාසය තුළ පමණක් රුපියල් බිලියන 50 ක පමණ පාඩුවක් එනම් කටුනායක අධිවේගී මාර්ගය යලි තැනීමට තරම් මුදලක් ‍පොලී අනුපාත වැඩි වීම නිසා රජයට පාඩු විය. සමස්ත ආර්ථිකයට වූ හානිය රුපියල් බිලියන 280 ක් පමණ වේ යැයි ඒ අවස්ථාවේ ගණන් බලා තිබිණි.

රට පුරා බැංකුවල පොලී අනුපාතය වැඩිවීම ජනතාවට බැංකුවකින්, මුල්‍ය ආයතනයකින් හෝ ලීසිං ආයතනයකින් ණයක් ගැනීමට වැඩි පොලියක් ගෙවන්නට සිදුවිය. වාහන ණය, නිවාස ණය, ව්‍යාපාර ණය සියල්ල වැඩිවිය. මෙහි ප්‍රථිපලය වූයේ ව්‍යාපරිකයින්ට ඔවුන්ට තමන් සපයන භාණ්ඩ හා සේවාවල මිල ඉහළ දැමීමට සිදු වීමය.මෙහි ප්‍රථිපලය වූයේ ජනතාවට මුදල් හිඟ වීමයි. ඒ අනුව රටේ මුදල් සංසරණය අඩුවිය. එය ආපසු ව්‍යාපාරවලට බල පෑවේය. මන්ද ඔවුන්ගේ ආදායම හා ලාභ අඩුවුන නිසාය. ව්‍යාපාර දුර්වල වන විට වැඩි පොලියට ගන්නා ණය ගෙවීම ඔවුන්ට අපහසු විය. එවිට බැංකු හා මුල්‍ය ආයතන ඔවුන්ට ණය දීම සීමා කළේය. අද රටේ බොහෝ කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරවලට බැංකුවකින් ණයක ලබා ගන්නට බැරි මේ නිසාය.

අනෙක් අතට මේ හොරකම හා රජය ඒ සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය නිසා විදේශ ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටුණි. ඔවුහු කොටස් වෙළඳපොළෙන් හා මුල්‍ය වෙළඳපොළෙන් ඔවුන්ගේ ආයෝජන ඉවත් කරගන්නට පටන් ගත්හ. ඩොලර් බිලියන් ගණන් මේ අනුව රටින් පිටවිය. එය බල පෑවේ රුපියලේ අගයටය. ලංකාවේ රුපියල කඩා වැටෙන්නට පටන් ගත්තේය. 2015 වන විට ආසියාවේ තිබූ ශක්තිමත්ම මුදල් ඒකකයක් වන රුපියල අද ආසියාවේ පමණක් නොව ලෝකයේම දුර්වල මුදල් ඒකකයකි. මහ බැඳුම්කර මංකොල්ලය පලමු වරට සිදු වූදා සිට මේ වන විට රුපියල 30% කින් පමණ කඩා වැටී තිබේ. මේ නිසා රජයේ විදේශ ණයවල දේශීය අගය විශාල වශයෙන් වැඩිවී තිබේ. මේ වැඩිවීම රාජපක්ෂ යුගයේ කළ සියලු සංවර්ධන කටයුතුවලට වැය කළ මුදලට වඩා විශාල පාඩුවකි. රුපියල කඩා වැටීම මහ ජනතාවටත් දැඩි ලෙස බල පෑවේය. මන්ද අපි පරිභෝජනය කරන බොහෝ භාණ්ඩ ආනයන කළ ඒවාය. ඒ වගේම අපි බොහෝ සේවාවන් සඳහා පිටරටට මුදල් ගෙවයි. උදාහරණය්ක් ලෙස අපේ රටේ බොහෝ අධ්‍යාපන පාඨමාලා සඳහා පිටරටට මුදල් ගෙවිය යුතුය. මේ සියල්ලේ මිල ඉහළ ගියේය. මිළ දරාගත නොහැකි වීම ආනයනවලට බලපෑවේය. එසේම රුපියල කඩා වැටීම වළක්වන්න රජය ආනයන සීමා පැනවීමට යාම නිසා ආනයන ව්‍යාපාර කඩා වැටුණි. ඉන් සිදුවූයේ රේගුව හරහා රජයට ලැබෙමින් තිබූ විශාල ආදායමක් රටට අහිමි වීමයි. ඒ වගේම රටේ ව්‍යාපාර බිඳ වැටීමත් රාජ්‍ය ආදායමට බලපෑවේය.

ආදායම අඩුවන විට රජය කළේ කුමක්ද? එක පැත්තකින් ඔවුන් වැඩිපුර ණය ගන්න පටන් ගත් අතර අනික් පැත්තෙන් ජනතාව මත බදු වැඩි කළේය. 2015 -2018 කාලය තුළ රටේ ණය බර 60% කින් වැඩිවිය. රුපියල් ට්‍රිලියන 7.4 සිට 12. දක්වා රාජ්‍ය බදු 100% කින් වැඩිවිය. 2014 රජය බදු වශයෙන් අය කළේ රුපියල් ට්‍රිලියනයකි. 2018 අයවැයෙන් එය රුපියල් ට්‍රිලියන 2 දක්වා රජය වැඩිකර තිබේ. මෙයත් බලපෑවේ ජනතාවගේ සාක්කුවටය.

අද මේ රටේ විශාල ආර්ථික අර්බූදයක් ඇත. ජනතාව ජීවන බරින් මිරිකී සිටිති. ව්‍යාපාර කඩා වැටී ආයෝජන නතර වී විරැකියාව වැඩිවී තිබේ. මේ සියල්ලේ මූලාරම්භය මහ බැංකු හොරකමින් පටන් ගත් වත්මන් රජයේ හොරකම හා බැරිකමය. මෙය සමාව දිය නොහැකි වරදකි. මුලු රටටම බල පෑ ජනතාව විපතට පත් කළ හොරකමකි. එහෙයින් වත්මන් රජය කර අරිනවා නම් බැඳුම්කර මංකොල්ලයට වග කිව යුතු අය අනාගත රජයකින් හෝ පරීක්ෂණ කොට හෙලිදරව් කොට ඔවුන්ට නීතිය මගින් දිය හැකි උපරිම දඩුවම් දිය යුතුය.

  •   
  •   


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස