මම ප්‍රජාතන්ත්‍රවාදයට දැවැන්ත සේවයක් කළා! රට වෙනුවෙන් එජාප නායකත්වය භාරගන්න සූදානම්! – හිටපු කතානායක කරූ රනිල්ට කියයි..

August 24, 2020 at 2:09 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට තමාට හැකි බව වර්තමාන පක්ෂ නායකත්වය වෙත තමන් දැනුම් දුන් බව හිටපු කථානායක කරූ ජයසූරිය පවසයි.

අද (24) දිනයේ දී විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

එහි මෙසේද දැත්වෙයි..

“මාගේ සමස්ත දේශපාලන ගමන් මග රටේ ප්‍රජාතනත්‍රවාදය සහ කාර්යක්ෂමතාව ප්‍රවර්ධනය කිරීම සඳහා කැප වූවකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වන සංශෝධනය ගෙන ඒම සහ තොරතුරු දැන ගැනීමේ අයිතිය ජනතාවට ලබා දීම පිණිස මාගේ දායකත්වය නොරහසකි.

මෙලෙස 1995 වසරේ සිටම මෙරටට ශිෂ්ඨ සම්පන්න නව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට උපරිම ආකාරයෙන් කැප වුණෙමි.

වර්තමානයේ ඇති වී තිබෙන ව්‍යාකූල තත්ත්වය සලකා, බොහෝ පාර්ශව මගින් මා වෙත කෙරුණු ඉල්ලීම්, මා විසින් මනාව සලකා බලන ලද අතර, පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයට නායකත්වය දීමේ අභියෝගය භාර ගැනීමට මා හට හැකි බව වර්තමාන පක්ෂ නායකත්වය වෙත මෙන්ම පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් වෙත දැනුම් දීමට මා විසින් කටයුතු කර තිබේ.

එම තීරණය එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකාවේ අනාගතය සහ යුක්තිගරුක දේශමාමක ජනතාව වෙනුවෙන් මා විසින් ගන්නා ලද තීරණයක් වන අතර අප මාතෘභූමියේ අභිවෘද්ධිය වෙනුවෙන් මාගෙන් ඉටු විය යුතු සියලු යුතුකම් සහ වගකීම් වෙනුවෙන් අභීතව හා අනභිභවනීය ලෙස කැප වන බව අවධාරණය කරමි.“

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස