බුදු පිළිම කැඩූ අන්තවාදීන්ට එරෙහි වූ නස්ලිම්ට වෙඩි ප්‍රහාරයක්!

March 11, 2019 at 10:11 am | by admin

මාවනැල්ල ප‍්‍රදේශයේ බුදුපිළිම කැඩූ අන්තවාදීන්ට හා ප‍්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව පොලිසිය හා සහයෝගයෙන් කටයුතු කළ මාවනැල්ල උදාගම්මානයේ පදිංචි එච්. ආර්. එම්. නස්ලීම්ට (37) වෙඩි තබා පලාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය සීසීටීවී දර්ශන ඔස්සේ ඊයේ (10 දා) විමර්ශනය ආරම්භ කර ඇත.

නස්ලීම් සිය නිවසේ ඇඳක් මත නිදාගෙන සිටියදී පෙරේදා (09 දා) අලූයම වෙඩි ප‍්‍රහාරයකට ලක්වී තිබිණි.

මොහුට වෙඩි තැබීම සඳහා යතුරු පැදියකින් දෙදෙනෙකු පැමිණ නිවසේ පස්ස දොරෙන් ගෙට ඇතුළු වී ඇඳේ නිදාගෙන සිටියදී වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇතැයි හෙළිවී තිබේ. නස්ලීම් මහතා නිදාගෙන සිටි ඇඳේ කොට්ටය මත තිබී පිස්තෝලයකින් නිකුත් වූ උණ්ඩයක් ද පොලිසිය විසින් සොයාගෙන ඇත.

වෙඩි ප‍්‍රහාරයට ලක්වූ නස්ලීම් මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඔහුගේ තත්ත්වය අසාධ්‍යවීම හේතුවෙන් වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මහනුවර ශික්‍ෂණ රෝහල වෙත ඇතුළත් කර ඇත. එහිදී ඔහුගේ හිසට ශල්‍යකර්මයක් සිදුකර තිබෙන අතර ඊයේ (10 දා) වන විටත් ඔහු සිහිය නොමැතිව දැඩි සත්කාර ඒකකයේ සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

වෙඩි ප‍්‍රහාරයට ලක්වූ නස්ලීම් උනාගම මුස්ලිම් පල්ලියේ සංගමයේ සභාපතිවරයාද වේ. තිදරු පියෙකුද වන ඒ මහතා සමාජ සේවා සංවිධාන රැසක තනතුරු හොබවන ප‍්‍රදේශයේ සියලූ ජාතීන් අතර සහයෝගයෙන් කටයුතු කළ අයෙකි.

ඒ මහතාට වෙඩි තැබීමට පෙරදින (08 දා) පල්ලියේ ආගමික වතාවන්වලින් පසුව පැවති රැස්වීමේදී ප‍්‍රදේශයේ මත්කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය තුරන් කළ යුතු බවත් ඒ සඳහා පොලිසිය ඇතුළු ආරක්‍ෂක අංශවල සහාය ලබාදිය යුතු බවත් ඔහු පැවසූ බව ප‍්‍රදේශවාසීහු පවසති.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස