මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට එරෙහිව යුද්ධයක් අරඹනවා! ජාවාරම්කරුවන් පොලිස් නිලධාරීන් මාරු කළ යුගය අවස්න කරනවා! වසර තුනක් බන්ධනාගාරේ සිටි ජාවාරම්කරුට ඇප!

January 29, 2019 at 4:07 am | by admin

වසර 30ක ම්ලේච්ඡ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට ගෙන ගිය යුද්ධය හා සමාන යුද්ධයක් ම්ලේච්ඡ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන් ජාතිය ගලවා ගැනීම සඳහා සිදු කළ යුතුව ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේදී විශේෂ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින් ඇගැයීම වෙනුවෙන් අද (28) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති ජනපති ප‍්‍රශංසා, ඇගැයීම් උලෙළ අමතමිනි.

එදා දැක්වූ කුසලතාවයන්, දක්ෂතාවයන්, එඩිතර බව සහ වීරත්වය මෙම ශ්‍රේෂ්ඨ මානව කාර්ය වෙනුවෙන්ද ඉටුකිරීමට පෙරට එන ලෙස ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්ෂක බලකා සියලූ සාමාජිකයන්ට ආරාධනා කළ ජනාධිපතිතුමා ඊට නායකත්වය ලබාදීමට තමා සූදානම් බවද කියා සිටියේය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ විවිධ නීති විරෝධි කටයුතුවල නිරතව සිටින පිරිස් විසින්, පොලිස් ස්ථානාධිපතිවරුන්ව මාරු කර යැවූ යුගය තමා අවසන් කරන බවයි.

පොලිස් නිලධාරින්ට ස්ථාන මාරුවීම් ලබාදීමේදී වාර්ෂික ස්ථාන මාරුවීම්, ප‍්‍රතිපත්තිමය ස්ථාන මාරුවීම් ක‍්‍රමවේදයන්ට අනුව මෙන්ම ඉන් බාහිරව සිදු කෙරෙන්නා වූ ස්ථානමාරුවීම්වලදීද එම ස්ථාන මාරුවට හේතුව ස්ථාන මාරුවීම් ලිපියේම සඳහන් කළ යුතුය යන නියෝගය තමා විසින් ලබා දෙන බවද ජනාධිපතිවරයා කියා සිටියේය. එසේ සිදු කරනුයේ සියලු පොලිස් නිලධාරින්ට මාතෘභූමිය වෙනුවෙන් අවංක සේවයක් ඉටුකිරීමට බව පැවසූ ජනාධිපතිවරයා, ජනාධිපතිවරයා ලෙස මෙන්ම පොලිසිය භාර අමාත්‍යවරයා ලෙසද තමා සෑම අවස්ථාවකම අවංකව රාජකාරී ඉටු කරන නිලධාරින් ආරක්ෂා කරන බව කියා සිටියේය. දූෂිතයන්ගේ සහ ජාවාරම්කරුවන්ගේ අනුදැනුම මත කිසියම් පොලිස් නිලධාරියෙකු ස්ථාන මාරුවීමකට ලක්වුවහොත් හා යම් පෞද්ගලික අභියෝගයකට හෝ කරදරයකට ලක් වුවහොත් ඒ පිළිබඳ තමා වෙත පෞද්ගලිකව දැනුම්දීමට අවශ්‍ය ක‍්‍රමවේදය සකස් කරමින් විශේෂ ඒකකයක් ස්ථාපිත කිරීමට කටයුතු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.

මේ අතර හෙරොයින් ජාවාරම් කිරීමෙන් රුපියල් කෝටි 52 කට ආසන්න මුදලක් උපයාගත් බව කියමින් වසර 3 1/2කට අධික කාලයක් රිමාන්ඩ් බාරයේ පසුවූ ලංකාවට හෙරොයින් ගෙන්වන මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු බව කියන මොහොමඩ් සිද්ධික් හෙවත් ‘කුඩු සිද්ධික්’ නමැත්තාට කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (28දා) ඇප නියම කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස