බ්‍රිතාන්‍ය මහාධිකරණය පහළ අධිකරණ තීන්දුව ඉවත දමයි…! මේජර් ප්‍රියංක ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කරයි….!

March 20, 2021 at 3:42 pm | by emanisa.lk

එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ අමාත්‍ය උපදේශක (ආරක්ෂක) තනතුර දැරූ මේජර් ජනරාල් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි දී තිබූ තීන්දුව නිෂ්ප්‍රභා කර තිබේ.

එක්සත් රාජධානියේ මහාධිකරණය විසින් මේජර් ජනරාල් ප්‍රියංකර ප්‍රනාන්දුට එරෙහිව වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබාදී තිබූ තීන්දුවට එරෙහිව ඔහු එක්සත් රාජධානියේ මහාධිකරණයට ඉදිරිපත්කරන ලද අභියාචනයේ තීන්දුව 2021 මාර්තු මස 19 දින ප්‍රකාශයට පත් කරන ලදී. එහි දී පහළ අධිකරණය මේජර් ජනරාල් ප්‍රියංකර ප්‍රනාන්දු වරදකරුකරමින් 2019 දෙසැම්බර් මස 06 දින ලබාදී තිබූ තීන්දුව ඉවත දැමීමටත් ඔහු සියලුම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමටත් මහාධිකරණය තීන්දු කළේය.

2018 පෙබරවාරි 04 දින ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් දිනය සමරන අවස්ථාවේ දී ලන්ඩන් හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණය මෙහෙයවූ එල්ටීටීඊ හිතවාදී පිරිස මෙහිදී චූදිත පාර්ශවය වූ අතර ඔවුන්ට මේජර් ජනරාල් ප්‍රනාන්දුට නඩු ගාස්තු ගෙවීමටත් නියම කරන ලදී.

කෙසේ වුව ද විත්ති පාර්ශවයේ චෝදනා සියල්ල නිෂ්ප්‍රභ කර දැමූ මහාධිකරණය මේජර් ජනරාල් ප්‍රියංකර ප්‍රනාන්දු වෙනුවෙන් ඉදිරිපත්වූ තර්කය පිළිගනිමින් ශ්‍රී ලංකාව හා එක්සත් රාජධානියද පාර්ශ්ව රාජ්‍යයන් වන 1961 රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතියට අනුව ඔහුට හිමිවිය යුතු රාජතාන්ත්‍රික මුක්තිය පිළිබද වූ තර්කය පිළිගන්නා ලදී.

එම ගිවිසුම් හා සම්බන්ධ අර්ථ නිරූපනයන්හිදි හුදු වචනාර්ථයෙන් පමණක් නිර්වචනය කළ නොහැකි බවත් එය අරමුණු හා පරමාර්ථයන් මත භාවිතයට ගතයුතු බව නඩු තීන්දුවේ සඳහන් වේ. මෙහිදී තවදුරටත් නඩු තීන්දුවේ දැක්වෙන්නේ වියානා සම්මුතිය, වෙනත් සම්මුතීන්වලටත් වඩා අන්‍යොන්‍ය ක්‍රියාකාරීත්වය මත රඳා පවතින බවයි. යම්කිසි පිළිගැනීමේ රාජ්‍යයක් විසින් සිය රාජ්‍යය වෙත පත් කර එවන වෙනත් රාජ්‍යයක රාජතාන්ත්‍රික නිලධාරීන් කෙරෙහි සීමාකිරීම් වියානා සම්මුතියේ 47.2 වගන්තියට අනුව කළ හැකි වුවද, එසේ කළ හැකි වන්නේ දෙවනුව කී රාජ්‍යය සිය භුමියේ පිහිටි පෙර කී රාජ්‍යයේ දූත මණ්ඩලයටද එවැනි සීමා කිරීම් කරන්නේ නම් පමණකි.

රාජ්‍යතාන්ත්‍රික කටයුතුවල ක්‍රියාකාරීත්වය පදනම් විරහිත චෝදනා හා අසතුටුදායක විනිශ්චය සභා මගින් අගතියට හා අපහරණයට ලක්කිරීම එක්සත් රාජධානියේ මහාධිකරණය සිය අවධානයට ලක්කරන ලදී. එක්සත් රාජධානියේ පාර්ශවයෙන් ගත් කළ විදේශ රාජතාන්ත්‍රික නිලධාරීන්ට මුක්තිය ප්‍රදානයේ මූලිකාර්ථයක් වන්නේ විදේශ ගත බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්ට ඒ හා සමානව මුක්තිය ලබාගැනීමයි.

මහාධිකරණය තවදුරටත් දක්වා තිබුණේ රාජ්‍යතාන්ත්‍රික මුක්තිය පිළිබද මූලධර්ම එක්සත් රාජධානියේ සිටින සියලුම විදේශ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ට පිරිනැමෙනුයේ එක්සත් රාජධානිය නියෝජනය කරමින් වෙනත් රටවල සේවය කරන රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන්ටද වෙනත් රටවලදී ඒ හා සමාන මුක්තියක් අන්‍යොන්‍ය වශයෙන් ලැබීමේ පදනම මත බවයි.

මුක්තිය පිළිබද ප්‍රදානයන් හුදු දේශපාලන කාරණා මත පදනම් නොවී ඒ සම්බන්ධ නීති හා රාජතාන්ත්‍රික සබඳතා පිළිබඳ වියානා සම්මුතිය මත පදනම් විය යුතු බවයි. මෙහිදී මහාධිකරණ විනිසුරුවරුන් තවදුරටත් දක්වා තිබුනේ වෙස්ට්මින්ස්ටර් මහේස්ත්‍රාත් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මේජර් ජනරාල් ප්‍රනාන්දුට රාජ්‍යතාන්ත්‍රික මුක්තිය හිමි නොවන බවට දී තිබූ තීන්දුව වැරදි බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *