බ්‍රිගේඩියර් ප්‍රනාන්දු නිදොස් කොට නිදහස් කෙරේ!

March 18, 2019 at 4:53 pm | by admin

එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුව පසුගියදා (15දා) නැවත කැඳවූ අවස්ථාවේ බ්‍රිගේඩියර්වරයාට එරෙහිව ලබාදී තිබූ අධිකරණ වරෙන්තුව අවලංගු කළ වෙස්ට්මිනිස්ටර් මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරිය, ඔහු සියලු චෝදනාවලින් නිදහස් කර එම නඩුව නැවත මුල සිටම ආරම්භ කිරීමට නියම කළාය.

ඒ අනුව ලබන මැයි 07 වැනිදා මීට අදාළ නඩුව නැවත කැඳවීමේ දින නියම කරමින් එමා අර්බත්නෝට් විනිසුරුවරිය සඳහන් කළේ, අධිකරණ කාර්ය මණ්ඩලයේ අත්වැරදීමකින් මෙම නඩුවට අදාළ වැදගත් ලියකියවිලි කිහිපයක්ම අතපසු වීම හා බ්‍රිගේඩියර්වරයට එරෙහිව නඩු තීන්දුව ලබා දීමට පෙර සැලකිල්ලට ගත යුතු එම ලියකියවිලිවලට අදාළ වැදගත් කරුණු කිහිපයක්ම නොතකා හැර තිබීම එයට ප්‍රධාන හේතු බවයි.

පසුගිය වසරේදීලන්ඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ පැවැති නිදහස් දින සමරු උත්සවයට බාධා කරමින් තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කළ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් වෙත එවකට ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නිලයේ කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක අභිනයකින් ඔවුන්ට මරණ තර්ජන සිදු කළැයි පවසමින් පැනවූ නඩුව වසරකටත් වැඩි කාලයක් වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ විභාගයට ගැනුණි.

ශ්‍රී ලංකා රජය විසින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා බ්‍රිතාන්‍ය රජයට දැන්වූයේ බ්‍රිගේඩියර්වරයාට රාජතාන්ත්‍රික මුක්තිය ඇති බැවින් ඔහුට එරෙහිව නඩු පැවරීම හෝ අධිකරණ නියෝග ලබා දීම සිදු කළ නොහැකි බවයි.

එහෙත් මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍ය අමාත්‍යාංශය විසින් වෙස්ට්මිනිස්ටර් අධිකරණයට යවන ලද ලිපිගොනු නොසලකා හැරුණු ලියකියවිලි බවට තොරතුරු වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *