පොහොසතුන්ගෙන් අරගෙන දුප්පත්තුන්ට බෙදන එක ආර්ථික සංවර්ධනය නෙමෙයි! අප හමුවේ ඇත්තේ 30 අවුරුදු යුද්ධය වගේ ම අභියෝගයක්! (video)

March 18, 2019 at 8:00 am | by admin

නිවැරදි නායකත්වය, තීරණ ගැනීමේ හැකියාව, ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු සැපයීමට ඇති හැකියාව නිසා වසර 30 ක් තිස්සේ පැවති යුද්ධය වසර තුනකින් අවසන් කරන්නට හැකි වුණා. එවැනිම අභියෝගයක් තමයි අපට ඉදිරියේදී මුහුණදීමට සිදුව තිබෙන්නේ යැයි හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පවසයි. බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේ (17) පැවති එළිය සම්මන්ත්‍රණයේදී ඔහු මෙම අදහස් දැක්වීය.

අද සෑම කෙනෙක්ටම මේ ආර්ථිකය කඩාවැටීම ප්‍රශ්නයක් වෙලා තිබෙනවා. යළි ආර්ථිකය ගොඩනැගීම අප ඉදිරියේ පවතින අභියෝගයක්. එදා අපි අභියෝගවලට මුහුණදී ඒවා ජයග්‍රහණය කළා. මහින්ද රාජපක්‍ෂ මහතා එදා රජය භාර ගත්තේ විශාල අභියෝග මැදයි. නිවැරදි නායකත්වය, තීරණ ගැනීමේ හැකියාව, ප්‍රශ්නවලට නිවැරදි පිළිතුරු සැපයීමට ඇති හැකියාව නිසා වසර 30 ක් තිස්සේ පැවති යුද්ධය වසර තුනකින් අවසන් කරන්නට හැකි වුණා. එවැනිම අභියෝගයක් තමයි අපට ඉදිරියේදී මුහුණදීමට සිදුව තිබෙන්නේ. නිවැරදි නායකත්වයක්, තීන්දු තීරණ ගන්නා නායකත්වයක් තිබෙනවා නම්, සැලසුම් ක්‍රියාත්මක කරන්නට හැකියාවක් තිබෙනවා නම් ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්.

සෑම ජන කොටසකටම ජීවත් වීමේ අයිතිය තිබෙනවා. ජීවත් වීමට පුළුවන් ආදායමක් තිබිය යුතුයි. බස්නාහිර පළාත හැරුණ විට අනික් සෑම පළාතකම දරිද්‍රතාවයෙන් පහළ පිරිස් ඉන්නවා. එදා අපි යටිතල පහසුකම් සංවර්ධනය කළේ මේ අයගේ ජීවන මට්ටම ඉහළට ගන්නයි. බස්නාහිර පළාතෙන් පිටතට ගිහින් මහාමාර්ග ඇතුළු සංවර්ධනය ඇති කළේ මේ අයගේ ජීවිත ඉහළට ගැනීමටයි. ඔවුන්ගේ ජීවිත ඉහළට ගැනීමට නම් ඔවුන් බලගැන්විය යුතුයි. ව්‍යාපාරයක්, රැකියාවක් තිබිය යුතුයි. රජයේ යුතුකම තමයි මෙවැනි අවස්ථා ඔවුන්ට ලබාදීම. විශේෂයෙන්ම ඒ දරිද්‍රතාවයෙන් පහළ මට්ටමට වැටෙන්නේ ඔවුන්ට රැකියාවක් කිරීමට නොහැකි නිපුණතාවයක් නොමැතිකම නිසයි. ඒ අයට සුදුසු රැකියාවක් ලබාදීමටත් සමඟම ඔවුන්ගේ පවුල්වලට අධ්‍යාපනයක්, නිපුණතාවයක් ලබාදිය යුතුයි. රටේ දේශීය කර්මාන්තකරුවා, ගොවි ජනතාව ආර්ථික අපහසුතාවකට පත්වෙලා තිබෙනවා. කිසිම පාලනයකින් තොරව විවෘත ආර්ථීකය ක්‍රියාත්මක කිරීම මීට ප්‍රධාන හේතුවක්. රටක් ඉදිරියට යන විට විවෘත ආර්ථිකය ප්‍රයෝජනයට ගත්තා. ඒ විවෘත ආර්ථිකය ක්‍රියාත්මක කළේ යම් යම් පාලනයක් ඇතිවයි. අපි විවිධ වෘත්තිකයන් සමඟ මේ කරුණු ගැන සාකච්ඡා පවත්වා තිබෙනවා.

අපේ රට කර්මාන්ත අතින් දියුණු නැහැ. නමුත් තිබූ දේශීය කර්මාන්ත විනාශ වුණේ කිසිම පාලනයක් නොමැතිව විවෘත ආර්ථිකය ක්‍රියාත්මක කිරීම නිසයි. වත්මන් රජය නිසි පාලනයකින් තොරව විදෙස් රටවල නිෂ්පාදන මෙරටට ගෙන්වන්න අවසර ලබා දුන්නා. පාවහන් කර්මාන්තය යම්කිසි තැනකට අරගෙන ඇවිත් තිබුණා. අද කිසිම පාලනයක් නැතිව පාවහන් මෙරටට ගෙන්වීම නිසා දේශීය පාවහන් කර්මාන්තකරුවා අපහසුතාවට පත්ව තිබෙනවා. එම නිසා ලක්‍ෂ හතරකට ආසන්න රැකියාවන්ට ගැටලු ඇතිවෙලා තිබෙනවා.

කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර සහනාධාරය කප්පාදු කරලා. පිටරටින් ගම්මිරිස් ආනයනය කිරීමත් නිසා අපේ ගොවීන් අසරණ වෙලා. පාලනයකින් තොරව රටේ ආර්ථිකය ගමන් කිරීම නිසයි මෙවැනි තත්ත්වයකට අප අද පත්ව තිබෙන්නේ. කෘෂිකර්මය කෙරෙහි අවධානයක් යොමු කිරීමට රජය අපොහොසත් වෙලා. එදා අපි යුද්ධය පැවති කාලයේදීත් ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දුන්නා. ගොවීන්ට ප්‍රශ්න තිබෙනවා. ඔවුන්ගේ ආදායම ඉහළට ගෙන ඒමට අවශ්‍ය තාක්‍ෂණික සහාය ඔවුන්ට ලබා දිය යුතුයි. ඔවුන් ඒ සඳහා දිරිගැන්විය යුතුයි. ඔවුන්ගේ නිෂ්පාදන වෙළෙඳපොළට ගෙන ඒමටත් රජයේ යුතුකම වෙනවා. අද ලෝකයේ නවීන තාක්‍ෂණය උපයෝගී කරගෙන ගොවීන්ගේ නිෂ්පාදන ඉහළ දැමීමට කටයුතු කළ යුතුයි. දේශීය කර්මාන්තකරුවාට සියලුම ආධාර ලබාදිය යුතුයි.

අපේ රටේ උගත් ශ්‍රම බළකායක් සිටිනවා. අපට හැකියාවක් තිබෙනවා මේ තරුණ තරුණියන් තාක්‍ෂණය වෙනුවෙන් පුහුණු කරන්නට. ලෝකයේ ආර්ථික කේන්ද්‍රස්ථානය ආසියාවට පැමිණෙමින් තිබෙනවා. මේ නිසා අපට හැකියාවක්, අවස්ථාවක් තිබෙනවා තාක්‍ෂණය මුල්කරගෙන රැකියා විශාල ප්‍රමාණයක් බිහි කරන්නට. තාක්‍ෂණය මුල් වූ කර්මාන්ත බිහි කරන්නට හැකියාවක්, ශ්‍රම බළකායක් අපට තිබෙනවා. වසරකට දෙලක්‍ෂයක් පමණ තරුණයන් විශ්වවිද්‍යාලවලට සුදුසුකම් ලබනවා. නමුත් විශ්වවිද්‍යාලයට යන්නේ තිස්පන්දහසක් පමණ ප්‍රමාණයක්. ඉන් වැඩි කොටසක් යන්නේ කලා අංශයේ විෂයන් හැදෑරීමටයි. මේ හේතුව නිසා ඇතැම් තරුණ තරුණියන් සාමාන්‍ය පෙළ අවස්ථාවලදී උසස් අධ්‍යාපනය හැර යනවා. සමහර අය උසස් පෙළ අසමත් වෙලා අතරමං වෙනවා. උසස් පෙළ අධ්‍යාපනය හදාරන ඇතැමුන් ආර්ථික ප්‍රශ්න නිසා අධ්‍යාපනය නතර කරනවා. මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කළ යුතු වෙනවා. ආර්ථිකයට සුදුසු අධ්‍යාපන ක්‍රමයක් බිහිකළ යුතුයි.

ලෝකයේ ක්‍ෂේත්‍ර රැසක් තිබෙනවා අපේ තරුණ තරුණියන්ට ඉගෙන ගැනීමට. මේ ක්‍ෂේත්‍රවලට තරුණ තරුණියන් යොමු කළ යුතුයි. බුද්ධියක් සහිත ශ්‍රම බළකායක් නිර්මාණය කිරීමට ඒ තුළින් හැකියාව ලැබෙනවා. ඔවුන්ට වෘත්තීමය පුහුණුවක් නොමැතිකම නිසයි අද තරුණ තරුණියන් අතරමං වෙලා තිබෙන්නේ. බුද්ධිය මුල් වූ කර්මාන්ත රැසක් මෙරටට ගෙන ඒමට හැකියාව තිබෙනවා. තාක්‍ෂණය මුල් වූ කර්මාන්ත විශාල ප්‍රමාණයක් තිබෙනවා. එමගින් රැකියා විශාල ප්‍රමාණයක් බිහිකරන්නට හැකියාව තිබෙනවා. කර්මාන්ත දියුණු කරන්නට අනවශ්‍ය නීති බාධාවක්. මේවා ලිහිල් කළ යුතුයි. ව්‍යවසාකයන් දිරිගන්වන්නට අවශ්‍යයි. ඔවුන්ට අසීමිත ලෙස බදු පැනවීම නතර කළ යුතුයි. දේශීය ව්‍යවසාකයන්ට මේ රටේ කර්මාන්ත කරගෙන යෑමට හැකියාව තිබෙනවා නම් ඒවා ඇයි විදෙස් ආයෝජකයන්ට ලබා දෙන්නේ. හැකියාව තිබෙන අපේම ව්‍යාපාර, කර්මාන්ත ඇයි පිටරට අයට ලබා දෙන්නේ. ලෝකයේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළින් සිටින ඇමරිකාව ඔවුන්ගේ ව්‍යවසාකයා ආරක්‍ෂා කරනවා. ඔවුන් එහෙම කළත් ඇයි අපේ ව්‍යවසාකයා ආරක්‍ෂා කර ගන්නේ නැත්තේ.

අපි ආර්ථිකය දියුණු කිරීමේදී විදේශ ආයෝජන අවශ්‍යයි. ඒ විදේශ ආයෝජන ලබා ගත යුත්තේ යම් යම් සීමාවන් තුළයි. ලෝකයේ අනිත් රටවල් දියුණු වෙලා තිබෙන්නේ ඒ නිසයි. සෑම විටම අපේ ව්‍යවසාකයන් ආරක්‍ෂා කරගත යුතුයි. එහෙම කළොත් අපේ ආර්ථිකය දියුණු කරන්නට පුළුවන්. සෑම විටම නවීන තාක්‍ෂණය රට තුළට ගෙන ඒම කියන කාරණය වැදගත්. යුද්ධය අවසාන කරලා රටේ සංවර්ධනය ඉදිරියට ගෙන යන අවස්ථාවලදී විදෙස් රටවලට ආයෝජන කළ අපේ අය යළිත් රටට ආවා. රට තුළ ස්ථාවරත්වයක් තිබෙනවා යළිත් ඔවුන් අපේ රටට එනවා. රාජ්‍ය අංශය දියුණු කරනවා වගේම පෞද්ගලික අංශයත් දියුණු කළ යුතුයි.

දේශපාලන තීන්දු තීරණවල පවතින දුර්වලතා නිසයි බොහෝ අවස්ථාවලදී රාජ්‍ය අංශය දුර්වල වෙලා තිබෙන්නේ. ආර්ථික සංවර්ධනය කියන්නේ එක් කොටසක් දියුණු කිරීම නෙමෙයි. සෑම දෙයක්ම සිදුවන්නේ සමාජයේ එක් කොටසකට නම් අපි බලාපොරොත්තු වන ආර්ථික සංවර්ධනය සිදුවෙන්නේ නැහැ. පොහොසත් අයගෙන් මුදල් අරගෙන දුප්පත් අයට ලබාදීම නෙමෙයි සිදුවිය යුත්තේ. මෙවැනි කාරණා ගැන අපි අවධානය යොමු කළ යුතුයි. අපට නිවැරදි ගැනීමට හැකි, සෘජු නායකත්වයක් තිබිය යුතුයි. ස්ථාවර රජය තිබිය යුතුයි. දුර්වල මධ්‍යම රජයක් කියන්නේ දුර්වල රටක්. දුර්වල රජයකින් රටක් සංවර්ධනය කරන්නට බැහැ. ස්ථීර ප්‍රතිපත්ති තිබිය යුතුයි. රටක ප්‍රතිපත්ති රජයන් මාරු වන විට මාරුවිය යුතු නැහැ. මෙවැනි අභියෝග භාරගෙන සංවර්ධිත රටක් බිහි කිරීමට කටයුතු කිරීමට හැකියාව ලැබෙයි කියා විශ්වාස කරනවා.

චමින්ද කරුණාරත්න
Media Coordinator
GR Media Unit

  •   
  •   



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස