පැහැරගත් බව කී නිලධාරිනිය රටින් පැනයාම වළකයි! වහාම අධිරණයට කැඳවයි!

December 3, 2019 at 5:58 pm | by emanisa.lk

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ ගානියාර් ෆ්‍රැන්සිස් නැමැත්තියට අධිකරණයේ අවසරයකින් තොරව මේ මස 9 දා තෙක් විදේශ ගත වීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝගයක් නිකුත් කළේය.

මෙම නිළධාරිනිය පැහැරගෙන යාමට ලක්වූ බවට ස්විට්සර්ලන්ත තානාපති කාර්‍යාලය විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණත් වින්දිත තැනැත්තිය සම්බන්ධයෙන් කිසිදු අනාවරණය කිරීමක් සිදු කර නොමැති බවත් එබැවින් එම කාන්තාවගේ ප්‍රකාශයක් ලබා ගෙන නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න වෙත දැනුම් දුන්නේය.

ඇය යම් හෙයකින් විදේශ ගත වුවහොත් පරික්ෂණ කටයුතුවලට බාධා වී රට කෙරෙහි වැරැදි ආකල්පයක් ඇති විය හැකි බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය .

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් මීළඟ දිනට පෙර ලබා දෙන ලෙසට අධිකරණය ගානියාර් ෆ්‍රැන්සිස්ට නියෝග කළ අතර දෙසැම්බර් මස 9 දා තෙක් ඇයගේ විදේශ ගමන් තාවකාලිකව අත්හිටුවීමට ද නියෝග කළේය .

මෙම කාන්තාව සම්බන්ධයෙන් තානාපති කාර්‍යාලය කිසිදු අනාවරණය කිරීමක් සිදු කර නොමැති බවත් ඇය පදිංචි යැයි සැලකෙන නිවසේද ඇය දැනට නොමැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.
.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස