නීරෝගී රටක් හදන කාබනික වගාවට ගොවියා බිය විය යුතු නෑ…! අස්වනු අඩු වුණොත් සහතික මිලටත් ඉහළින් මිලට ගන්නවා…! – ජනපති….

May 12, 2021 at 7:39 pm | by emanisa.lk

කාබනික පොහොර භාවිතයට එළැඹීම නීරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බව ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කෙරිණ. එලෙස ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් ක්‍රියාත්මක වීම රජයක වගකීමකි. කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට මීට පෙර පැවති රජයන් උත්සහ කළද එය අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි විය. මෙය අභියෝගාත්මක ක්‍රියාවකි; අපහසුය, එනමුත් නිවැරදි ක්‍රමෝපාය හඳුනාගෙන රට වෙනුවෙන් කළ යුතු කාර්යයක් බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

‘දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ’ සාමාජිකයන් සමග ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ඔහු විසින් මේ බව සඳහන් කෙරිණ.

කාබනික පොහොර භාවිතයේ දී අස්වැන්න අඩු වී ආදායමේ වෙනසක් වුවහොත් සහතික මිල ඉක්මවා වී මිල දී ගැනීමට රජය සූදානම් බවත් ගොවියා ඒ සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් පාරිභෝගිකයාට පවතින මිලට සහල් ලබාගත හැකි පරිදි වැය බර දැරීමට රජය සූදානම් බවත් රාජපක්ෂ සඳහන් කළේය.

රසායනික පොහොර ආනයනය කළ සමාගම් කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කරන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය සූදානම් යැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමේ දී ඇතැම් සටන් පරාජය විය. අවසානයේ දී ත්‍රස්තවාදය පරාජය කර රට දිනවූවා සේ සියලු අභියෝග ජය ගනිමින්, ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක් ලබා ගැනීමේ අයිතිය ලබාදීමට රජය සූදානම් බව ජනාධිපති විශේෂ නියෝජිත හා කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මෙම සාකච්ඡාවට සහභාගී වෙමින් පැවසීය.

හැටේ දශකය ආරම්භයේ සිට රසායනික පොහොර භාවිතයට හුරු පුරුදුව ඇති මෙරට කෘෂිකර්මාන්තය කාබනික පොහොර භාවිතය වෙත යොමු කරවීම යුද්ධයෙන් රට බේරාගත්තා සේම ජනතාවට ලබාදෙන විශේෂ ජයග්‍රහණයක් බව ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පෙන්වා දුන්හ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස