ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන ඕනෑ ම රටකට බිහිසුණු ප්‍රතිවිපාක ලැබෙනවා! – ශ්‍රී ලංකාව මානව හිමිකම් කවුන්සිලයට කියයි…

October 2, 2020 at 12:29 pm | by emanisa.lk

අන්තවාදී කණ්ඩායම්වල උපායමාර්වල නවීනත්වය මධ්‍යයේ සිය ජාතික ආරක්ෂාව අනතුරේ හෙළන ඕනෑම රටකට බිහිසුණු ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වන බව ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ අවධාරණය කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය හමුවේ ඉදිරිපත් කෙරුණු ජගත් සංවිධාන මහ ලේකම්වරයාගේ වාර්ෂික වාර්තාවේ සඳහන් කරුණු සම්බන්ධයෙන් කරුණු දක්වමින් ශ්‍රී ලංකා රජය නිවේදනයක් මඟින් පෙරේදා (30) මේ බව දැනුම් දී තිබේ.

එම මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේ දී ජීනිවාහි ශ්‍රී ලංකා වැඩබලන නිත්‍ය නියෝජිත දයානි මෙන්ඩිස් රජය වෙනුවෙන් එම නිවේදනය ඉදිරිපත් කරණු ලැබීය.

වාර්තාවේ සඳහන් “බිය ගැන්වීම්,” “සෝදිසි කිරීම්,” “හිරිහැර කිරීම් පිළිබඳ පැමිණිලි” සහ “පළිගැනීම්” චෝදනා සම්බන්ධයෙන්, නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්ට වෙත හෝ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම, ජාතික පොලිස් කොමිෂන් සභාව වැනි ජාතික ආයතන වෙත විධිමත් පැමිණිල්ලක් කරන මෙන් අදාළ පාර්ශ්වයන්ට ආරාධනයක් කිරීමට ශ්‍රී ලංකා රජය බලාපොරොත්තු වන බව එම නිවේදනයේ දක්වා ඇත.

එවිට චෝදනා එල්ල කරන සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට පියවර ගත හැකි බවද ශ්‍රී ලංකා රජය දන්වා සිටී.

මේ චෝදනා දැනටමත් ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර ඇති බව පවසන ශ්‍රී ලංකා රජය, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස සහ සිවිල් සමාජ අවකාශය ආරක්ෂා කිරීමට හා ප්‍රවර්ධනය කිරීමට කැපවී සිටිනවා මෙන්ම මාධ්‍යවේදීන්, මානව හිමිකම් ආරක්ෂා කරන්නන් සහ සිවිල් සමාජයට බලපෑම් කරන බවට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි විමර්ශනය කර නඩු පැවරීමට වගබලාගන්නා බවද අදාළ නිවේදනයේ සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස