ජාත්‍යන්තර බලපෑම් හමුවේ මහසඟ රුවන නොසැලෙයි! ශවේන්ද්‍ර හමුදාපති ධුරයට පත්කිරීම මල්වතු අස්ගිරි නාහිමියන් අගයයි!

August 25, 2019 at 9:52 pm | by emanisa.lk

ත්‍රස්තවාදයෙන් රට මුදවා ගැනීමේ සටනේදී රට වෙනුවෙන් තමන්ගේ ඇති කැපවීම පෙන්නුම් කළ රණවිරුවෙකු ලෙස ශවේන්ද්‍ර සිල්වා යුද හමුදාපති ධූරයට පත් කිරීමට ජනපති ගත් තීරණය අගය කරන බව මල්වතු අස්ගිරි මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම පැවැසූහ.

නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා අද (25) මල්වතු අස්ගිරි උභය මහ විහාරයන්ට ගොස් එම පාර්ශ්වයේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම බැහැදැක ආශිර්වාද ලබාගත් අවස්ථාවේ උන්වහන්සේලා මේ බව පැවසූහ.

ශවේන්ද්‍ර සිල්වා ජනතාව හඳුනාගෙන සිටින බවත් එනමුත් විවිධ පාර්ශ්ව වෙතින් බලපෑම් එල්ල වෙද්දී ඒවා නොතකමින් ඒ මහතා යුද හමුදාපති ධූරයට පත් කිරීම යහපත් තීරණයක් බවත් උන්වහන්සේ දෙනම ප්‍රකාශ කර සිටිති.

මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියෝ නව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාට ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් උපරිම අවධානය යොමු කළ යුතුව තිබෙන බවද පැවැසුහ.

යුද ජයග්‍රහණය වෙනුවෙන් විශාල කාර්යභාරයක් කළ රණවිරුවෙකු ලෙස ප්‍රකට ශවේන්ද්‍ර සිල්වාට ඕනෑම අභියෝගයක් ජය ගැනීමේ ශක්තිය ඇතැයි ද යුද හමුදාපති ධූරය ශවේන්ද්‍ර සිල්වාට පිරි නැමීමට ජනපති ගත් තීරණය සම්බන්ධව රටම සතුටු වූ බවද අස්ගිරි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන මහනාහිමියන් සඳහන් කළහ.

මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නාහිමියෝ නව හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා පත් කිරිම සම්බන්ධයෙන් ඇමරිකාව,කොටි ඩයස්පෝරාව හා උතුරේ දෙමළ දේශපාලනඥයින් සුළු පිරිසක් අකමැත්ත ප්‍රකාශ කර තිබූ නමුත් ජනපති ඒ කිසිවක් ගණන් නොගෙන විය යුතු දේ කර තිබෙන බව ද සඳහන් කළහ.

අස්ගිරි පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පූජ්‍ය නාරංපනාවේ ආනන්ද නාහිමියෝ යුද හමුදාපති ධූරයට සුදුසු අයෙකු පත් කිරීම රාජ්‍යය නායකයා ලෙස ජනපතිවරයාට හිමිවන ස්වාධීන අයිතියක් බවත් ජනපති කිසිවකුගේ බලපෑමට යටත් නොවී එම අයිතිය පාවිච්චි කර තිබෙන බව අනුශාසනාවක් කරමින් සඳහන් කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස