ගෝඨාභය ජනපති අපේක්ෂක වීම පිළිබඳ අකමැත්තක් නෑ! පොදු සන්ධානයක් වෙනුවෙන් කරුණු 25කට එකඟ වුණා! – ශ්‍රීලනිපය

July 5, 2019 at 8:05 am | by emanisa.lk

ශ‍්‍රී ලංකා නිදහස් පොදුජන පෙරමුණ නමින් ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොදුජන පෙරමුණත් එකඟතාවට පැමිණි බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර පවසයි.

දෙපාර්ශ්වය විසින් ගොඩනගන පුළුල් සන්ධානය එම නමින්ම තරග කළ යුතු බවට පොදුජන පෙරමුණ මගින් කළ යෝජනාව ඇතුළු මූලික කරුණු විසිපහකට දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණි බවත්, ඉදිරි සතිය අවසන් වන විට ගොඩ නඟන පොදු සන්ධානයේ ලකුණු සහ තනතුරු පිළිබඳව දෙපාර්ශ්වය විසින් සාකච්ඡා කර අවසන් එකඟතාවකට පැමිණ ඇති බවත් මහ ලේකම්වරයා ඊයේ (04) නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සඳහන් කළේය.

සාකච්ඡාව අවසානයේ ජයග‍්‍රහණය කළ හැකි අපේක්ෂකයකු ප‍්‍රකාශයට පත්කරන බව කී මහ ලේකම්වරයා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනන්‍යතාව ආරක්ෂා කරමින් සාකච්ඡා පවත්වන බව ද කීවේය. පක්ෂ දෙකෙන්ම අපේක්ෂකයන් දෙදෙනකු ඉදිරිපත් කරන බව සඳහන් කළද අවසානයේ ඉදිරිපත් වෙන්නේ එක අපේක්ෂකයකු බවත්, යම් හෙයකින් කවුරුන් හෝ සාකච්ඡාවලට බාධා කර අපේක්ෂකයින් දෙදෙනකු ඉදිරිපත් වීමට සිදු වුවහොත් සිදුවන්නේ දෙදෙනාම පරාජයට පත්වී විරුද්ධවාදීන්ට ජයග‍්‍රහණය ලබාදීම බවත් මහලේකම්වරයා සඳහන් කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා වීම ගැන අකමැත්තක් නොමැති බව කී මහලේකම්වරයා සාකච්ඡාවලට ප‍්‍රධාන කාරණා වන ඊළඟ අගමැති අපේක්ෂකයා, ජාතික ලැයිස්තු ඇතුළු අනිකුත් තනතුරු බෙදී යන ආකාරය පිළිබඳව දෙපාර්ශ්වය විසින් මූලික එකඟතාවකට පැමිණිය යුතු බව ද කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස