ඊ.ටී.අයි. මගඩිය නිසා මහ බැංකුව කෙරෙහි ආයෝජකයන්ගේ විශ්වාසය බිඳ වැටිලා! – ඇමති රවී, විමල් සමග එක්ව මහ බැංකුව පළු අරී!

March 4, 2019 at 10:33 am | by admin

ඊ.ටී.අයි. (E.T.I.) ආයතනය පිළිබඳව මහ බැංකුව කටයුතු කර තිබෙන ආකාරය පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්වීමට නොහැකි බවත් මේ නිසා ඇති වී ඇති ආන්දෝලනය නිසා ආයෝජකයන්ට මහ බැංකුව පිළිබඳව විශ්වාසයක් ඇති නොවන තත්ත්වයක් උදා වී ඇති බවත් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.

මහ බැංකුව මෙම ගනුදෙනුවේ දී කටයුතු කර තිබෙන ආකාරය පිළිබඳව විශේෂ අධීක්ෂණයක් යටතේ සොයාබැලීමට සූදානම් යැයිද ජාතික ආර්ථික සභාවේදී තවදුරටත් මේ පිළිබඳව සාකච්ඡා කර තීරණයකට එළැඹෙන බවද අමාත්‍යවරයා පැවැසීය.

ඊ.ටී.අයි. ආයතනයේ මුදල් තැන්පතුකරුවන්ට සිදුවී ඇති අසාධාරණය සම්බන්ධයෙන් එම තැන්පතුකරුවන් සහ රවි කරුණානායක අමාත්‍යවරයා අතර විදුලිබල අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකින් අනතුරුව අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසුවේ ඊ.ටී.අයි. තැන්පතුකරුවන් ලක් වී ඇති අසාධාරණයට ආණ්ඩුවක් ලෙස මැදිහත් වන බව හා ඔවුන්ගේ තැන්පතු භයානක තත්ත්වයක නොමැති බවයි.

රවි කරුණානායක මෙසේද පැවැසීය.

ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ට වී ඇති අසාධාරණය සම්බන්ධයෙන් පසුගියදා ජාතික ආර්ථික සභාවේදී පවා සාකච්ඡා වුණා. ජනාධිපතිවරයාගේ අවධානයත් මේ පිළිබඳව යොමු වුණා.

මහ බැංකුවේ සහ ඊ.ටී.අයි. (E.T.I.)සමාගම අතර සිදුවුණු දේ පිළිබඳව කිව්වොත් E.T.I. සමාගම විකිණීම සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ටෙන්ඩරයට තුන් දෙනකු පමණ ඉදිරිපත් වුණා. එහිදී එක්කෙනකු තේරුණා. එයා විදේශිකයෙක්. ඔහු ඉදිරිපත් කළ ලංසුව ඇමෙරිකානු ඩොලර් මිලියන 75ක්. මහ බැංකු අධිපති කිව්වේ මේ මුදල ඩොලර් මිලියන 70ක් දක්වා අඩු වූවා කියලයි. කොහොමද එහෙම අඩු කරන්නේ. නිරීක්ෂණ කමිටුවකට එහෙම කරන්ට බැහැ. නිරීක්ෂණ කමිටුවෙන් (Monitoring Committee) තමයි මෙය අඩු කර තිබෙන්නේ. මේ ප්‍රශ්නය ඉදිරිපත් වුණේ ජනාධිපතිවරයා ඉදිරිපිටදීමයි.

මේ වෙනුවෙන් ලැබිය යුතු ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණයවත් තවම ලැබී නැහැ. හැම දේටම සද්ද කරන මහ බැංකුව මේවා සම්බන්ධයෙන් කතා කරන්නේ නැහැ.

මෙම කුප්‍රකට ගනුදෙනුව පිළිබඳ මුලින්ම රටට තොරතුරු හෙළිදරව් කළේ ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ විසිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස