ආණ්ඩුව වරාය නගරය හරහා මේ රට වහල් දේශයක් කරල…! – සජිත්…

April 19, 2021 at 7:37 am | by emanisa.lk

ආණ්ඩුව මූල්‍ය ත්‍රස්තවාදය සහ මූල්‍ය බෙදුම්වාදයත් ආර්ථික ත්‍රස්තවාදය සහ ආර්ථික බෙදුම්වාදයත් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඊයේ (18) හම්බන්තොට දී විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ ය.

අපේ රට සහමුලින්ම විදෙස් රාජ්‍යන්ගේ වහල් දේශයක් බවට පත් කිරීමේ සම්පූර්ණ පිඹුරුපත් ආණ්ඩුව විසින් වරාය නගර ව්‍යාපෘතිය හරහා සිදු කොට ඇති බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊට එරෙහිව සමගි ජන බලවේගය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් ඇති බවත් ඊට අමතරව ආණ්ඩුවේ මේ කූට උපක්‍රමය පරාජය කිරීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බවත් පැවැසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් ආණ්ඩුව මේ කටයුතු කරමින් සිටින්නේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය බලය සහමුලින්ම පාවාදීමට බව ද හෙතෙම පැවසීය. මේ ආණ්ඩුව බෙදුම්වාදී ක්‍රියාපිළිවෙත නවතාවයකින් කරළියට රැගෙන විත් ඇති බව පැවසූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ආණ්ඩුව ඒ හරහා ජාවාරම්කාර මූල්‍ය ධනවාදයක් ගොඩ නැගීමට කටයුතු කොට ඇති බවද පැවසීය.

ආණ්ඩුවේ මේ වියරු ක්‍රියාදාමයට එරෙහිව සමගි ජන බලවේගය කොන්දේසි විරහිතව පෙරට එන බව පැවසූ හෙතෙම සැබෑ ප්‍රගතිශීලී බලවේගවලට ඒ සඳහා එක්වන ලෙස ද ආරාධනා කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස