ආණ්ඩුවට රට වහගන්නවත් බෑ….! රට වේගයෙන් අරාජිකත්වයට යනවා…! වහා ම සර්වපාර්ක්ෂික හමුවක් කැඳවනු….! – සජිත්….

June 3, 2021 at 7:56 am | by emanisa.lk

රටත් ජනතාවත් මුහුණ දී ඇති අර්බුදකාරී තත්ත්වයට පිළියම් සෙවීම සඳහා මේ මොහොතේ හෝ සර්වපාක්‍ෂික හමුවක් කැඳවිය යුතු බව විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

එහි මෙසේ ද දැක්වෙයි.

මේ වන විටත් අවිධිමත් ලෙස රට වසා දමා තිබේ. එහෙත් නොනිල වශයෙන් මාර්ග පුරා වාහන සහ මිනිසුන්ය. මෙයින් ගම්‍ය වන්නේ වර්තමාන ආණ්ඩුවට නිශ්චිත ලෙස, රට වසා දැමීමේ හැකියාවක් හෝ නැති බවය. ආණ්ඩුවේ සියලු යාන්ත‍්‍රණයන් පිළිබඳව විශ්වාසය මේ වන විට ජනතාව වෙතින් ගිලිහී ගොස් ඇති අතර එකිනෙකට පරස්පර වැඩපිළිවෙළ හේතුකොට ගෙන බරපතළ තත්ත්වයක් රට තුළ උද්ගතව ඇත.

කොරෝනා ව්‍යසනයත්, එය ඉදිරියේ ආණ්ඩුවේ හිතුවක්කාරී, අදූරදර්ශී සහ අපරිණත වැඩපිළිවෙළත් හේතුවෙන් අවාසනාවන්ත ඉරණමකට ගොදුරුව සිටින්නේ මෙරට පුරවැසියන් ය. දෙවසරක් තිස්සේ මෙරට ජනතාව සියලු පීඩාවන් දරාගෙන උපේක්ෂාවෙන් යුතුව ආණ්ඩුවේ ක‍්‍රියාපිළිවෙත දරාගෙන සිටි නමුත් ආණ්ඩුව එය මායිම් නොකර දිනෙන් දිනම පටු න්‍යායපත‍්‍ර මත පිහිටා රට අරාජිකත්වය කරා රැගෙන යමින් සිටී.

ඊනියා ලෙස ගෙන ආ පොහොර තහනම

ආණ්ඩුව ඊනියා ලෙස පොහොර තහනමක් ගෙන ආ අතර එය හුදෙක් දේශපාලන අරමුණක් පමණි. ප‍්‍රායෝගික නොවන සේ ගත් එම හිතුවක්කාර තීරණය හේතුවෙන් යල කන්නය වෙනුවෙන් වගා කටයුතු කළ ගොවි ජනතාව දැඩි අසරණකමකට පත්ව සිටිති. මීට අමතරව එළවළු ගොවීන් ද, වතු වැවිලි ක්ෂේත‍්‍රයේ තේ, පොල්, රබර් ගොවීහු ද, පලතුරු ගොවීහු ද දැඩි පීඩාවකට ලක්ව සිටිති. කොරෝනා ව්‍යසනය හේතුවෙන් පීඩිත ජනතාව ආහාර හිඟයකට පත්කොට කබලෙන් ලිපට ඇද දමන කටයුත්තක් බවට එය පත්ව තිබේ.

තමන් විසින් නෙළාගත් අස්වැන්න අලෙවි කර ගැනීමේ හැකියාව ගොවීන්ට අහිමිව ගොස් ඇති අතර ඊට කිසිදු විසඳුමක් ආණ්ඩුවෙන් ඉදිරිපත් කර නැත. ඊට අදාළ අමාත්‍යාංශ සහ ආයතන ප‍්‍රායෝගිකත්වය වෙනුවට හිස් වචන පමණක් ප‍්‍රදර්ශනය කරමින් සිටී.

කබලෙන් ලිපට වැටුණු ධීවර ප‍්‍රජාව

ධීවර ප‍්‍රජාව දැනට වසර දෙකක පමණ සිට බලවත් පීඩාවන් රැසක සිරවී සිටින අතර ඔවුන්ගේ ජන ජීවිත නැංවීම වෙනුවෙන් ආණ්ඩුව කිසිදු ක‍්‍රියාමාර්ගයක් ගෙන ඇති බවක් පෙනෙන්නට නැත. ධීවර කර්මාන්තයෙන් සෘජුව හා වක‍්‍රව ජීවනෝපාය සලසා ගන්නා පිරිස ලක්ෂ විස්සකට ආසන්නය. 2019 ශ‍්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව ධීවර කර්මාන්තය ශ‍්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය 1.1%කි. අද වන විට ඔවුහු ජීවන ප‍්‍රශ්න රැසකට මුහුණ දී සිටිති. පසුගියදා සිදු වූ එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය නිසා ද දැඩිව පීඩාවට පත්ව සිටින්නේ ධීවර ජනතාව ය.

ඇඟලුම් කම්හල් ආශ‍්‍රිත තරුණ ප‍්‍රජාව

ඇඟලූම් කම්හල් ආශ‍්‍රිතව කටයුතු කරන තරුණ ප‍්‍රජාව ආණ්ඩුව විසින් මුල සිටම අවදානමට තල්ලු කළ අතර ඔවුන්ගේ ගැටලු පිළිබඳව තබා, මේ මොහොතේ ඔවුන් විසින් කරනු ලබන මෙහෙවර පිළිබඳව හෝ ආණ්ඩුවට වගකීමක් නැත.

බිඳවැටුණු ජීවිත

කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල තට්ටු නිවාස, වතු නිවාස සහ වෙනත් නිවාස ආශ‍්‍රිතව ජීවත්වන ජනතාව දැඩි පීඩාවකට හසුව සිටින අතර ඔවුන්ගේ ජීවන තත්ත්වය සහ මානසික තත්ත්වය නැංවීම උදෙසා ආණ්ඩුව ඵලදායි වැඩපිළිවෙළක් සකසා නැත. ඒ අතරතුර පිටි මිල ඉහළ නැංවීම පිළිබඳව පුවත් වාර්තා වන අතර එය සෘජුවම සාමාන්‍ය ජනතාවට එල්ල වන පහරකි.

මෙවන් තත්ත්වයන්ට මුහුණ දී සිටින බොහෝ රටවල් සිය ජනතාව උදෙසා කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළවල් ආරම්භ කොට ඇති අතර ඒ් කිසිවක් පිළිබඳව මෙරට ආණ්ඩුවට වැඩපිළිවෙළක් නැත. ඒ් වෙනුවට ආණ්ඩුව එදිනෙදා යම් යම් මාතෘකා ඉස්මතු කරමින් ‘එදාවේල’ වැඩපිළිවෙළක් පමණක් ක‍්‍රියාත්මක කරමින් සිටී.

සර්වපාක්ෂික හමුවක්

දෙවසරක් තිස්සේ රට මුහුණ දී සිටින්නේ ජාතික මෙන්ම ජාත්‍යන්තර උවදුරකය. එවන් අවස්ථාවක හුදෙක් හිතුවක්කාරී ලෙසත්, තනිව විසඳුම් සොයනවාට වඩා සාමූහික ප‍්‍රයත්නයක් තුළින් විසඳුම් සෙවීමේ වැදගත්කම අපි නිරන්තරයෙන්ම අවධාරණය කළ නමුත් අඩු තරමේ මේ ව්‍යසනය උග‍්‍ර අවස්ථාවේ හෝ සර්වපාක්ෂික හමුවක් කැඳවීමටවත් ආණ්ඩුව කටයුතු කළේ නැත. මේ වනාහී තනිව දේශපාලන වාසිය බලා තීන්දු තීරණ ගත හැකි අවස්ථාවක් නොවන බව නැවත මතක් කරමි.

එදිනෙදා ආසාදිතයින් සහ මරණ ගණන ඉහළ යන විට එය වෙනත් රටවල ගණනින් සංසන්දනය කරමින් ආණ්ඩුව හුදෙක් කාලකන්නි සතුටක් ලබමින් සිටින අතර එහි වන්දිය නිසැකවම ආණ්ඩුවට ගෙවන්නට වනු ඇති බව අවධාරණය කරමු.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස