PHIට කෙළ ගැසූ අටළුගම ආසාදිතයා සති දෙකක් රිමාන්ඩ්!

December 4, 2020 at 12:41 pm | by emanisa.lk

බණ්ඩාරගම,අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු රැගෙන යාම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසූ සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 17 වෙනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු දැක්වීමෙන් පසු ලද නියෝගයක් අනුව මෙම සැකකරු අද පෙරවරු 9.20 ට පමණ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ ය.

අදාළ කොරෝනා ආසාදිතයා තමන්ව රැගෙන යාමට ආ අවස්ථාවේදී අටලුගම ප්‍රදේශයේදී මෙලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගසා බැන වැදෙන අයුරු දැක්වෙන වීඩියෝ කර තිබිණි.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු වීඩියෝ තාක්ෂණය ඔස්සේ පානදුර අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණු අතර ලබන 17 දක්වා රිමාන්ඩ් කිරීමටයි එහිදී නියෝග කර ඇත.

නිරෝධායන පනත සහ රාජ්‍ය සේවකයෙකුගේ රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ ඔහුට එරෙහිව චෝදනා ගොනු කෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස