ඇමරිකාව MCC ගිවිසුම හකුළා ගැනීම ජනතා ජයක්! එහි පන්නරය ලබමින් ජනතාව පෙරට ආ යුතුයි!

December 20, 2020 at 9:33 pm | by emanisa.lk

මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුම ශ්‍රී ලංකාවෙන් ඉවත් කර ගැනීමට ඇමරිකාව තීන්දු කිරීම මේ රටේ ජනතාව නූතන අධිරාජ්‍යවාදයට එරෙහිව ලබා ගත් සුවිශේෂ ජයග්‍රහණයක් බව යුතුකම සංවිධානයේ ලේකම් ලසන්ත වික්‍රමසිංහ පවසයි.

අද (20) තුම්මුල්ල සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.

මෙම ගිවිසුමෙහි අදියර දෙකකට පසුගිය යහපාලන ආණ්ඩුව 2017 සහ 2018 වර්ෂවල රහසේ ම අත්සන් කර ඇති බවත් අපට ගැළවීමට අවස්ථාව ලැබුණේ එවැනි අඩක් අත්සන් කර බලාත්මක කර තිබූ ගිවිසුමකින් බවත් ලසන්ත වික්‍රමසිංහ පෙන්වා දුන්නේ ය.

පසුගිය රජය ජනාධිපතිවරණයට පෙර MCC ගිවිසුම අත්සන් කිරීමට උත්සාහ කළ අවස්ථාවේ මේ රටේ මහා සංඝ රත්නය, දේශමාමක බලවේග සහ ජනතා නියෝජිතයින් ඊට එරෙහි වූ බවත් අතිපූජ්‍ය උඩුඳුම්බර කශ්‍යප හිමියන්ට ඊට එරෙහිව උපවාසයකට වාඩි වීමට පවා සිදු වූ බවත් ඔහු සිහිපත් කළේ ය.

ඒ සමඟ මේ රටේ ජනතාව රටේ ස්වෛරීත්වය වෙනුවෙන් නැඟී සිටීම ඔස්සේ මේ රටේ පාලකයන් යනු තාවකාලික භාරකරුවන් මිස හිමිකරුවන් නොවන බව පසක් කරවීමට හැකිවීම ඉදිරිගාමී පියවරක් බවත් ඔහු පෙන්වා දුන්නේ ය.

එසේ ම වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම ගිවිසුම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති කමිටුව අනුව පසුගිය ආණ්ඩුව මෙම ගිවිසුමේ මුල් අදියර දෙක අත්සන් කර ඩොලර් මිලියන 10කට ආසන්න මුදලක් ලබා ගෙන ඇති බවත් එම මුදලට වූයේ කුමක් ද යන්න මෙතෙක් සොයා ගෙන නොමැති බවත් ලසන්ත වික්‍රමසිංහ වැඩි දුරටත් අනාවරණය කළේ ය.

ඇමරිකාව විසින්ම MCC ගිවිසුම අහෝසි කරන තැනට වර්තමාන ආණ්ඩුව උපක්‍රමික ලෙස කටයුතු කිරීම ඔස්සේ ජාත්‍යන්තර සබඳතා කෙරෙහි ද ගැටළුවක් ඇති නොවන ආකාරයට මේ රටේ ජනතාවගේ අපේක්ෂාව ඉටුකර ගැනීමට හැකි වීම එම ජයග්‍රහණය තීව්‍ර කරන බව ද ඔහු සඳහන් කළේ ය.

ජනතාව තමන් මේ රටේ අයිතිකරුවන් බවත් පාලකයින් තාවකාලික භාරකරුවන් බවත් නිරතුරුව සිතමින් මෙවැනි අවදියකින් කටයුතු කළ යුතු බවත් සිය රජය නිරතුරුව තම අපේක්ෂා ජයග්‍රහණය කරවීම සඳහා යොමු කරවීමට මෙම ජයග්‍රහණයෙන් පන්නරය ලැබිය යුතු බවත් ලසන්ත වික්‍රමසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

මෙම මාධ්‍ය හමුවට යුතුකම සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිඳු කුමාරතුංග සහ යුතුකම විධායක සභා සභික ඉසුරු කුලතිලක ද සහභාගි වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස