විනිසුරු විශ්‍රාම වයස අවුරුදු දෙකකින් ඉහළ නැංවීම සඳහා යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය සිය දැඩි අවධානය යොමු කර තිබේ.
විනිසුරුවන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනී මාග්‍රට් සැටර්ත්වයිට් (Margaret Satterthwaite) විසින් මේ සම්බන්ධයෙන් කරුණු විමසමින් රජය වෙත විශේෂ ලිපියක් යොමු කර ඇත.
එම ලිපිය මගින් ඇය පෙන්වා දෙන්නේ, යෝජිත ව්‍යවස්ථා සංශෝධනය මගින් අධිකරණයේ ස්වාධීනත්වයට, බලතල බෙදීමේ මූලධර්මයට සහ සාධාරණ නඩු විභාගයකට ඇති අයිතියට බරපතළ බලපෑමක් සිදුවිය හැකි බවයි.
විශේෂයෙන්ම මෙම සංශෝධනය දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ට ද බලපාන පරිදි ක්‍රියාත්මක කිරීමට යෝජනා වී තිබීම හරහා විධායකයේ සහ ව්‍යවස්ථාදායකයේ අනවශ්‍ය මැදිහත්වීමක් සිදුවිය හැකි බවට ඇය සැක පළ කරයි.
දැනට පවතින ව්‍යවස්ථාවට අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 65ක් වන අතර අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු 63කි. රජයේ යෝජනාවට අනුව එය පිළිවෙළින් අවුරුදු 67 සහ 65 දක්වා ඉහළ නැංවීමට නියමිතය.
එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරිනිය සිය ලිපිය මගින් කරුණු 7ක් යටතේ රජයෙන් පැහැදිලි කිරීම් ඉල්ලා ඇත.
යෝජිත සංශෝධනයේ වත්මන් තත්ත්වය සහ එහි කෙටුම්පත පිළිබඳ තොරතුරු.
මෙම සංශෝධනය සඳහා පාදක වූ මූලික හේතු සහ අරමුණු.
විශ්‍රාම වයස ඉහළ නැංවීම දැනට සේවයේ නියුතු විනිසුරුවරුන්ට පමණක් අදාළ කිරීමට ගෙන ඇති තීරණයට හේතු.
විධායකයේ හෝ ව්‍යවස්ථාදායකයේ බලපෑමෙන් තොරව අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීමට ගෙන ඇති ආරක්ෂිත පියවර.
ශ්‍රී ලංකා නීතිඥ සංගමය, නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සහ සිවිල් සංවිධාන සමඟ මේ පිළිබඳව සාකච්ඡා කර තිබේද යන්න.
මෙම සංශෝධනය අධිකරණයේ අපක්ෂපාතීත්වය කෙරෙහි මහජන විශ්වාසයට බලපාන ආකාරය පිළිබඳව රජය සිදු කර ඇති තක්සේරුව.
අධිකරණ ක්ෂේත්‍රයේ පුළුල් ප්‍රතිසංස්කරණ සඳහා විනිවිදභාවයකින් යුත් ක්‍රියාවලියක් අනුගමනය කිරීමට රජය අපේක්ෂා කරන්නේද යන්න.
විනිසුරුවන්ගේ විශේෂඥ දැනුම රැක ගැනීම වැනි කරුණු මත විශ්‍රාම වයස ඉහළ නැංවීම සාධාරණීකරණය කළ හැකි වුවද, එවැනි ප්‍රතිසංස්කරණ පුළුල් මහජන සංවාදයකින් සහ විනිවිදභාවයකින් යුතුව සිදු කළ යුතු බව ඇය අවධාරණය කරයි.
එසේ නොමැතිව සිදු කරන හදිසි ව්‍යවස්ථා සංශෝධන මගින් අධිකරණ පද්ධතිය කෙරෙහි පවති මහජන විශ්වාසය පළුදු විය හැකි බව ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.