මහනාහිමිවරුන්ගේ විනිසුරු වයස තීන්දුව විකෘති කරනු එපා… උන් වහන්සේලා ජනපතිට යොමුකළ ලිපිය ප්‍රසිද්ධ කරනු….! – දිනන දකුණින් ආණ්ඩුවට අභියෝගයක්…

August 10, 2026 at 7:26 pm | by emanisa.lk

තෛනිකායික මහානාහිමිවරුන් විනිසුරු විශ්‍රාම වයස නැංවීම පිළිබඳ සිය මතය ප්‍රකාශ කරමින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය මාධ්‍ය වෙත නිකුත් කරන ලෙස දිනන දකුණ සංවිධානය ආණ්ඩුවට අභියෝග කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පෙන්වා දෙන්නේ ආණ්ඩුව මහ නාහිවරුන්ගේ ලිපිය සඟව ගෙන ආණ්ඩුවට පක්ෂපාති මාධ්‍ය ඔස්සේ අසත්‍ය විකෘති කරුණු ජනතාව වෙත මුදා හරින බවයි.

ජනපතිට ලැබුණු ලිපිය හැකිනම් ප්‍රසිද්ධියට පත් කරන්න.
දිනන දකුණ සාමූහිකයේ අභියෝගය…

පසුගිය 08 වන දින යුක්තිය උදෙසා ජනතා සාමූහිකය මල්වතු පාර්ශ්වයේ මහා නායක හිමියන් බැහැදුටු අවස්ථාවේ පළ වූ අදහස් විකෘති කරමින් ආණ්ඩුවට හිතවත් මුහුණු පොත් පිටුවක් (Facebook Page)වාර්තාකර තිබෙනු දක්නට ලැබිණි.

දිනන දකුණ සාමූහිකය, ෆ්‍රී ලෝයර්ස් සංවිධානය, ආර්ථික යුක්තිය උදෙසා ජනතා සාමූහිකය ඇතුළු බහුජන සංවිධාන මෙන්ම වෘත්තිය සමිති නියෝජිතයෝ මෙම අවස්ථාවට සහභාගී වූහ.

එම හමුවේදී මල්වතු පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහා නායක ස්වාමීන් වහන්සේ ඉතා පැහැදිලිව අප නියෝජිතයින් කළ පැහැදිලි කිරීමකදී පැවසුවේ,ත්‍රෛනිකායික මහානායක මාහිමිපාණන් වහන්සේලා විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ බවයි.

ජනමාධ්‍යයට විවෘතව මූලික අදහස් හුවමාරු කර ගැනීමකින් අනතුරුව එම ස්ථානයෙන් ජනමාධ්‍ය ඉවතට යාමෙන් පසුවද මහානායක ස්වාමීන් වහන්සේ සමඟ අප සාකච්ඡාවක නිරත විය.

සදාචාරාත්මකව නොගැලපෙන හෙයින්,උන්වහන්සේ සහ අප අතර සිදුවූ අදහස් විවෘතව මාධ්‍ය තුළ සාකච්ඡා කිරීමට අප කිසි ලෙසකින් සූදානම් නැත.

එහෙත් දිගින් දිගටම ආණ්ඩුව මෙම ලිපිය පිළිබඳව වසන් කිරීමට සහ ව්‍යාජ ප්‍රවෘත්තීන් නිර්මාණය කිරීමට දරණ උත්සාහය අප සාමූහිකය දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමු.

ත්‍රෛනිකායික මහානායක ස්වාමීන් වහන්සේලා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කළ බව සක්සුදක් සේ දැන් පැහැදිලිය.

අප සාමූහිකය ජනාධිපතිවරයාගෙන් සහ ආණ්ඩුවෙන් බලකර ඉල්ලා සිටින්නේ ගෞරවනීය මහා නායක ස්වාමීන් වහන්සේලා යොමු කළ ලිපිය හැකිනම් ජනමාධ්‍ය වෙත නිකුත් කර පෙන්වන ලෙසටයි. එසේ නොකරන්නේ නම් ආණ්ඩුවේ සැඟවුණු න්‍යාය පත්‍රය මනාව පැහැදිලි වේ.

දිනන දකුණ සාමූහිකය යළි යළිත් අවධාරණය කර සිටින්නේ හැකි නම් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපිය සමාජය හමුවේ පැහැදිලිව ඉදිරිපත් කරන ලෙසටයි.

දිනන දකුණ නායකත්ව මණ්ඩලය සහ විධායක සභාව.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස