රුපියල ශක්තිමත් වුණේ අපේ වැඩපිළිවෙළ නිසයි…! – ජනපති…

April 4, 2024 at 11:09 am | by emanisa.lk

රජය ගෙන ගිය නිවැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් රුපියලේ වටිනාකම ඉහළ ගොස් ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

“දැන් ඩොලරයට සාපේක්ෂව රුපියල 300ට ඇවිත් ශක්තිමත් වෙලා තියෙන්නේ. ඒ ගන්න පියවරෙන් මම බලාපොරොත්තු වෙනවා ඩොලරයට රුපියල 280ක් කරගන්න. එතකොට අතට ලැබෙන සල්ලිවලට මුදල ශක්තිමත් වෙනවා. මේක කරගෙන යන්න ඕනේ. ආණ්ඩුවේ වැඩකරන්න මුදල් හොයා ගන්න ඕනේ. මේක අමාරු, දුෂ්කර මාර්ගයක යන්නේ.

සම්පුර්ණයෙන්ම වැටුණ ආර්ථිකය අපි දියුණු කරගෙන යනවා. මේ කාලයේ දී පුළුවන් වුණා පඩි වැඩිකරන්න. දීමනා වැඩිකරන්න. අස්වැසුම තුන්ගුණයකින් වැඩි කරන්න. සිංහල අවුරුදු කාලයේ දී වීවලට හොඳ මිලක් ලබා දෙන්නත් අපි කටයුතු කළා. ආර්ථික නඟා සිටවන්න ඕන. මේ යන කාලේ ටිකක් අමාරු වෙන්න පුළුවන්.

එන වර්ෂය වෙද්දි ගුරුවරු බඳවා ගන්න අමාත්‍යාංශවලට මුදල් දෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. අවුරුදු 5 සිට 19 වනකල් දරුවෙක් හදන එකේ දෙමාපියන් වගේම වගකීමක් මේ සියලුදෙනාටම තියෙනවා. ඒ වගකීම ඉටු කරන්න.

ඔබට තියෙන්නේ විෂයන් ඉගැන්වීම පමණක් නෙමෙයි. ශිෂ්‍යාවන්ගේ ජීවිතය හැඩගස්වන්න. ඒකයි ඔබේ වෙනස. අද ඔන්ලයින්වලින් පුළුවන් උගන්වන්න. නමුත් ඔන්ලයින්වලට බෑ එයාලගේ චරිතය හදන්න. ඒ නිසා තමා ගුරු වෘත්තීය ඉහළ වෘත්තියක් වෙන්නේ. ඒක ආරක්ෂා කරගන්න. ඒක නැති කරගන්න එපා.”

බස්නාහිර පළාත් උපාධිධාරී ගුරුවරුන් 2,320 දෙනෙකුට ගුරු පත්වීම් ලබාදීමේ උත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *