බලය බෙදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා චෝදනා කරයි.
නිමල් ලාන්සා මෙම අදහස් පළකර සිටියේ මාධ්‍ය වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමිනි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරමින් රටේ සියලු ජනතාවට පිළිගත හැකි වැඩපිළිවෙළක් සකස් කිරීමට යාමේදී ඒ සඳහා විරෝධය පළ කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සදාචාරාත්මක අයිතියක් නොමැත. 13 ට එහා ගිය බලය බෙදීමේ විසඳුමකට වුවද එළඹීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ මතය විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වන සංශෝධනය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ දැනටත් අන්තර්ගත වන අතර ඒ යටතේ රටේ සියලු ජනතාවට පිළිගත හැකි බලය බෙදීමකට වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සියලු දේශපාලන පක්ෂවල අදහස් ලබාගනිමින් ක්‍රියාත්මක කිරීමට යාමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් සාගර කාරියවසම් මහතා විසින් එයට විරුද්ධව අදහස් ප්‍රකාශ කරනුයේ ඔවුන්ගේ “දෙබිඩි පිළිවෙත” රට ඉදිරියේ ප්‍රදර්ශනය කරමිනි.
ස්ථාවර ආර්ථිකයක් හා ඒකීයභාවය ගොඩනැගීමට රටේ සියලු ජන කොටස් අතර සාමය හා සංහිදියාව ගොඩනැගිය යුතුයි. රටේ සියලු ජන කොටස් අතර විශ්වාසය ගොඩනැගීම සඳහා සැමට පිළිගත හැකි බලය බෙදීමක් සිදු කළ යුතුයි. එමගින් සියලු ජනකොටස් මෙරට ආර්ථික සංවර්ධනය උදෙසා දායක කර ගැනීමට හැකියාව ලැබෙනු ඇත. එවිට සියලු ජනකොටස් අතර ශ්‍රී ලාංකික හැගීම ගොඩ නැංවෙනු ඇත. සියලු ජන කොටස්වලට පිළිගත හැකි බලය බෙදීමකින් ජාත්‍යන්තර විශ්වාසයද ගොඩනැංවිය හැකියි.
ඒ පිළිබඳව අවම අවබෝධයක් නොමැතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ මතයට මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන හෘදසාක්ෂියට එකඟව කටයුතු කරන බහුතර මන්ත්‍රීවරුන්ගේ අදහසට බැහැර මතයක් එම පක්ෂයේ ලේකම්වරයා විසින් ඉදිරිපත් කරනුයේ කුමන පදනමක සිටදැයි පැහැදිලි කළ යුතුයි.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරනු ලබන බවට එම පක්ෂයේ සුළු පිරිසක් විවිධ අදහස් පළකර තිබෙන අතර හැකිනම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයා කවුරුන්දැයි සෘජුව ඔවුන් විසින් රටට හෙළි කළ යුතුයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය සඳහා එම පක්ෂයේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවටත්, ඒ සඳහා අකුරු තුනක නමක් සහිත නායකයකු ඉදිරිපත් කරන බවට විවිධ ඉඟි පළ කරමින් රටේ ජනතාව නොමග යවමින් සිටින්නේ පක්ෂය තුළ පොදු එකඟතාවක් නොමැතිවීම හේතුවෙනි. හැකිනම් සියලු පාර්ශ්වයන්ගේ එකඟතාව අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ඔවුන් විසින් ප්‍රකාශ කළ යුතුයි.
රටේ ඇතිවූ අස්ථාවරත්වය මත ගොඩනැගුනු අර්බුදයන් හා රට යළි ගොඩනගමින් ආර්ථික, සමාජීය හා දේශපාලන ස්ථාවරත්වයක් උදා කරදුන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩපිළිවෙළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනමතයක් නොමැති සුළු පිරිසකට අද වන විට අමතක වී තිබේ. යළි දේශපාලන කටයුතු සිදු කිරීම සදහා අවශ්‍ය ප්රජාතන්ත්රවාදී වටපිටාව නිර්මාණය කරදුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය අමතක කර දැමීමට එම පක්ෂයේ සුළු පිරිසක් කටයුතු කිරීම කණගාටුවට කරුණක්.
රට තුළ ඇතිවූ අස්ථාවරත්වය හා ඒ මත ගොඩනැගුනු අර්බුදයන් විසඳමින් රට තුළ ස්ථාවරත්වයක් ගොඩනැගීමට හැකි එකම නායකත්වය ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තෝරා ගැනීම වූයේ ද වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතායි. එවැනි තත්ත්වයක් තුළ රට තුළ ඇතිවූ ආර්ථික අර්බුදයන් විසදමින් ජාත්‍යන්තරයේද සහයෝගය ඇතිව රට යළි ගොඩනංවමින් ආර්ථික, සමාජීය හා දේශපාලනික ස්ථාවරත්වයක් ස්ථාපිත කරනු ලැබූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබදව රටේ ජනතාව තුළ විශ්වාසයක් ගොඩනැගී තිබේ.
ඉදිරි දැක්මක් මෙන්ම ජාත්‍යන්තරයේද සහයෝගය ඇතිව ශ්‍රී ලංකාව යළි ගොඩනැගිය හැකි එකම හා පරිණත නායකත්වය රනිල් වික්‍රමසිංහ මහතායි. ඒ පිළිබඳව පුළුල් අවබෝධයක් ඇති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමට කටයුතු කරන බවත් ජනමතයක් නොමැති, ජනතා අභිමථාර්ථ හදුනා ගත නොහැකි සුළු පිරිසගේ මතය රටේ ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බව නිමල් ලාන්සා මහතා එම නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර සිටියි.