දූෂිත රාජ්‍ය ආයතන පෞද්ගලීකරණයට එකඟයි…! – ගම්මන්පිල…

April 3, 2023 at 1:26 pm | by emanisa.lk

කොන්දේසි පහකට යටත්ව පිවිතුරු හෙළ උරුමය පෞද්ගලිකරණයකට එකඟ වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල පවසයි.

ඔහු මේ බව සඳහන් කර සිටියේ අද දින (2023.04.03) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් හා එක් වෙමිනි.

රාජ්‍ය ව්‍යාපාර දූෂිතයි. අකාර්යක්ෂමයි. දේශපාලනිකරණයට ලක් වෙලා
රාජ්‍ය ව්‍යවසාය පෞද්ගලිකරණය පිළිබඳ රටේ සංවාදයක් ඇති වී තිබෙන බැවින් ඒ පිලිබඳ පිවිතුරු හෙළ උරුමයේ මතය රටට පැවසිය යුතුයි. පසුගිය වසර 75 අත්දැකීම තමයි රාජ්‍ය ව්‍යවසාය දේශපාලනිකරණය, දූෂණය සහ අකාර්යක්ෂමභාවය වැනි හේතු නිසා ජනතාවට බරක් වීමයි. මම ඇමතිවරයෙකු ලෙස උපදේශකයෙකු ලෙස සභාපතිවරයෙකු ලෙස රාජ්‍ය ආයතන සමග කටයුතු කර තිබෙනවා. අපි තිත්ත ඇත්ත කතා කරමු. ඇමතිවරයාගේ සිට කම්කරුවා දක්වා හැමෝම බලන්නේ තමන්ට ආයතනයෙන් ලබා ගත හැකි දේ මිස ආයතනය දියුණු කරන්න නොවේ. නමුත් පෞද්ගලික අයිතිකරුවන් සෑම විටම දකින්නේ තමන්ගේ දියුණුවයි ආයතනයේ දියුණුවයි කියන්නේ එකක් මිස දෙකක් නොවේ කියලා.

දේශපාලන බලපෑම නිසා රාජ්‍ය ව්‍යවසායන්ට බඳවා ගන්නේ පාක්ෂිකයා මිස දක්ෂයා නොවේ. ඉතින් පෞද්ගලික ව්‍යවසායේ ඉන්නා දක්ෂයා සමග පාක්ෂිකයාට තරග කරන්න බෑ තමයි. ඒ වගේම පෞද්ගලික ව්‍යාපාර මිල දී ගන්නේ අඩුම මිලට තිබෙන ප්‍රමිතියෙන් යුත් භාණ්ඩයි. රාජ්‍ය ව්‍යවසාය මිල දී ගන්නේ වැඩිම කොමිස් මුදල ගෙවන සැපයුම්කරුවාගේ භාණ්ඩයි. සෑම රාජ්‍ය ව්‍යවසායකටම මේ කරුණු අදාල නොවුණත් සාතිශය බහුතරයක් සම්බන්ධයෙන් මේ කරුණු අදාලයි. ඒ නිසා කොන්දේසි පහකට යටත්ව අපි පෞද්ගලිකරණයකට එකඟයි.

1) පෞද්ගලිකරණය සිදුවුණු 1989-1993 ප්‍රේමදාස යුගය 1994-2001 චන්ද්‍රිකා යුගය සහ 2001-2004 රනිල් යුගය යන යුග තුනේදීම එල්ල වුණු පොදු චෝදනාවක් තමයි පෞද්ගලිකරණ ක්‍රියාවලිය අතිශයින්ම වංචා සහගතයි කියන එක. දැවැන්ත කොමිස් කුට්ටි අරන් රාජ්‍ය සම්පත් තුට්ටු දෙකට විකුණුවා කියන එක. ඒ නිසා පෞද්ගලිකරණය අතිශයින්ම විනිවිදභාවයකින් සිදුවිය යුතුයි. පෞද්ගලිකරණය අධීක්ෂණය කිරීමට පාර්ලිමේන්තුවේ සර්වපාක්ෂික කමිටුවක් පිහිටුවිය යුතුයි.
පෞද්ගලිකරණයට පෙර ආයතනයේ සැබෑ වටිනාකම පිලිබඳ තක්සේරු වාර්තාවක් ඒ කමිටුවට ඉදිරිපත් කළ යුතුයි. ඒ වගේම පෞද්ගලිකරණයෙන් පසු සාධාරණව සහ විනිවිද භාවයෙන් පෞද්ගලිකරණ ක්‍රියාවලිය සිදුවුණු බවට විගණන වාර්තාවක් ඒ කමිටුවට ඉදිරිපත් කළ යුතුයි. මේ කමිටුවේ අනුමැතියකින් තොරව කිසිම ආයතනයක් පෞද්ගලිකරණය කිරීමට රජයට නොහැකි විය යුතුයි.

2) පෞද්ගලිකරණයේ ප්‍රතිඵලයක් ලෙස ජනතාව සූරා කන වෙළඳපොළක් බිහි වීම වළක්වන්න සැබෑ නියාමනයක් තිබිය යුතුයි.

3) මව්බිමේ සතුරන් අතට මෙම ආයතන පත් වී ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් පෞද්ගලිකරණය සිදු නොවිය යුතුයි.

4) පෞද්ගලික අංශයේ කේවල් කිරීම් වැළැක්වීමට සහ හදිසි අවස්ථාවන්ට මුහුණ දීමට අවශ්‍ය කරන ආයතන පෞද්ගලිකරණය නොකළ යුතු නමුත් නව ව්‍යවසායකයින්ට අවස්ථාව ලබා දී උපරිම තරඟකාරි වෙළඳපොළකට අවස්ථාව සැලසිය යුතුයි.

5) උපාය මාර්ගිකව වැදගත් ආයතන රාජ්‍යය සතුව තබා ගත යුතුයි.

දැනටමත් පෞද්ගලිකරණයට තෝරා ගෙන තිබෙන ආයතන සඳහා විකුණන්නේ කාටදැයි කියන එකත් කලින්ම තීරණය කරලා ඉවරයි කියලා විවිධ කටකතා පැතිරෙනවා. පෞද්ගලිකරණය සඳහා ආණ්ඩුව ප්‍රේමදාස චන්ද්‍රිකා රනිල් යුගවල මෙන් පරණ පාරේ ගියොත් කොමිස් කුට්ටි සඳහා රාජ්‍ය දේපල තුට්ටු දෙකට විකුණන්න හැදුවොත් “රාජ්‍ය සම්පත් සුරකිමු” කියන සටන් පාඨයට යළි පණ ඇවිල්ලා මේ ආයතනවල බර ඊළඟ පරම්පරාවටත් පැවරීමේ වගකීම ආණ්ඩුව භාරගත යුතුයි.

ප්‍රශ්නය
අළුත් ත්‍රස්ත මර්දන පනතක් ගෙනල්ලා ඒ හරහා මාධ්‍යයත් මර්දනය කරන්න යනවා කියලා රජයට චෝදනාවක් එල්ල වෙනවා. ඔබතුමා ඒ ගැන මොකද හිතන්නේ ?
පිළිතුර
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත නවීකරණය කිරීම සඳහා නව පනතක් ගෙන ආ යුතුය යන ස්ථාවරයේ අප ඉන්නවා. නමුත් මේ ත්‍රස්ත විරෝධී පනත විදියට ගෙන ඇවිත් තිබෙන්නේ ත්‍රස්තවාදය මර්දනය කරන අතරෙම ජනමාධ්‍යයත් මර්දනය කරලා ඒ වගේම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියත් අහුරන්නයි. ඔය පනත මුලින්ම ඉදිරිපත් කළේ 2018 දී. එදත් අපි විරුද්ධව කටයුතු කළ නිසා තමයි ඔය පනත හකුළා ගන්නට සිද්ධ වුණේ. 2018 ඒ පනතට අත් වූ ඉරණම නැවත වතාවක් අත්කර දීමට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. මේ රටේ ජාතික ආරක්ෂාව තහවුරු කළ යුතුයි වගේ ම ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කිරීමත් ජාතික ආරක්ෂාවේ අංගයක් කියන එක අපි රජයට සිහිපත් කරනවා. ඒ අනුව මෙය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මීට එරෙහිව අධිකරණයට යාමට අවශ්‍ය නීති උපදෙස් අප ලබා ගනිමින් සිටිනවා.

ප්‍රශ්නය
ඉදිරි දින කිහිපයේ පාර්ලිමේන්තුවේ පුටු මාරුවක් සිද්ධ වෙනවා කියලා රාවයක් පැතිරෙනවා නේද ?
පිළිතුර
පුටු මාරුවක් නම් වෙන්න පුළුවන්. නමුත් මට කියන්න පුළුවන් මගේ පුටුව මාරු වෙන්නේ නෑ කියන එක විතරයි.

මෙම මාධ්‍ය හමුව සඳහා පක්ෂයේ ගම්පහ දිසා සංවිධායක අංජන උදාර, කැලණිය ආසන සංවිධායක ලක්ෂාන් මධුරංග යන මහත්වරුන්ද සහභාගි විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *