IMF කොන්දේසි සපුරන්න ලංවිම, සිපෙට්කො, ශ්‍රීලංකන් ඇතුළු පාඩු ලබන රාජ්‍ය ආයතන රැසක් පෞද්ගලීකරණයට සූදානම්…!

July 3, 2022 at 6:17 pm | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් මෙරටට ණය ලබා දීමට පෙර තෙල් සංස්ථාව, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු පාඩු ලබන සියලු රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට රජය සැලසුම් සකස් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගැනීමට ඔවුන් ඉදිරිපත් කරන කොන්දේසි ඉටු කළ යුතු වන අතර ඒ අනුව දැනටමත් ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංවිම හා ශ්‍රී ලංකන් ගුවන් සමාගම පළමුවෙන්ම ප්‍රතිව්‍යුහගත කිරීමට දැනටමත් කටයුතු ආරම්භකර ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් කීවේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මේ වනවිට රුපියල් කෝටි 31500 ක පාඩුවක් ලබා තිබෙන අතර ලංකා ඛනිජ තෙල් සංස්ථාව රුපියල් කෝටි 15,000 ක්ද, ලංවිම රුපියල් කෝටි 40,000 ක පමණ පාඩුවක් ලබයි. එම ආයතන මෙලෙස පාඩු ලබන හේතු සොයා ඒවා ප්‍රතිව්‍යුහගත කිරීම අත්‍යවශ්‍ය තත්ත්වයකට පත්ව ඇතැයි හෙතෙම පැවසීය.

මෙම ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය යටතේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව සතුව තිබූ ඉන්ධන ආනයනය, ගබඩා කිරීම හා අලෙවි කිරීමේ ඒකාධිකාරිය අහෝසි කොට විදේශ සමාගම්වලට කෙලින්ම ඉන්ධන මෙරටට ගෙන්වා ගබඩා කර බෙදාහැරීම සඳහා සිපෙට්කෝ ඉන්ධන හල් ලබාදීමට අදාළව කැබිනට් අනුමැතිය පළවී ඇත. ඒ අනුව ඉන්දියන් තෙල් සමාගම දැනටමත් ත්‍රිකුණාමල වරායට ගෙන එන පෙට්‍රල්, ඩීසල් මෙරට අලෙවි කිරීමට බලතල ලබාදී ඇත. මීට අමතරව කටුනායක ගුවන් තොටුපළේ ගුවන්යානා සඳහා ද විදේශ සමාගම්වලට ගුවන්යානා ඉන්ධන ආනයන කිරීමට අවසර දී ඇත.

ලංකා විදුලිබල මණ්ඩලය ද කොටස් අටකට හෝ හයකට කඩා සාමාන්‍යාධිකාරිවරුන් අට දෙනෙකු හෝ හය දෙනකු යටතට ගෙන ප්‍රතිව්‍යුහගත කිරීමට නියමිතව ඇත. ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෙලින්ම තෙල් සම්පත තිබෙන රටකට ලබාදීමට සැලසුම් සකස් කරමින් ඇත. මෙම රාජ්‍ය ආයතනවලට අමතරව දැනට අතිවිශාල පාඩු ලබන රාජ්‍ය ආයතන ගණනාවක්ම කඩිනමින් මෙයාකාරයට ප්‍රතිව්‍යුහගත කිරීමට සැලසුම් කරමින් සිටින බව ඒ ඒ ආයතනවල වෘත්තීය සමිතිද කියයි.

මෙම රාජ්‍ය ආයතනවල අතිවිශාල සේවක අතිරික්තයක් තිබෙන අතර ඔවුන්ට වන්දි ලබාදී සේවයෙන් ඉවත් කිරීමට සැලසුම් සකස් කර ඇත. කෝප් කමිටුව මගින් ඉකුත් කාලයේදී ආයතන රැසක වංචා දූෂණ හා අක්‍රමිකතා රැසක් හෙළි කළ අතර මේ ආයතන ඇතුළු රාජ්‍ය ආයතන රැසක අතිකාල ලබාගෙන ඇති ආකාරය ද හෙළි කෙරිණි. වරාය අධිකාරිය ද ඊට ඇතුළත් අතර තවත් රාජ්‍ය ආයතන ගණනාවක්ම ප්‍රතිව්‍යුහගත කිරීම සැලසුම් වී ඇතැයි මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

දිවයින

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස