ලංකාවේ සමස්ත ණයෙන් චීන ණය 10%ක් විතරයි..! ලංකාව අමාරුවේ දැම්මේ ඇමරිකාව සහ බටහිරයි..! – චීනය..

July 29, 2022 at 4:45 pm | by emanisa.lk

ශ්‍රී ලංකාව චීනයට වඩා ජාත්‍යන්තර බැඳුම්කර වෙළෙඳපොළට ණය වී ඇති බවත් චීනය අඩු පොලියට සහනදායී ලෙස මෙරටට ණය ලබාදී ඇති බවත් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක ෂාඕ ලීජියැන් පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක චීන ව්‍යාපෘතිවලින් මෙරට ආර්ථිකයට සහ ජනතාවට ඉමහත් ප්‍රතිලාභ අත්වන බවය.

“චීන-ශ්‍රී ලංකා ප්‍රායෝගික සහයෝගීතාව සැම විට ම ශ්‍රී ලංකාවට ප්‍රමුඛත්වයක් ලබාදෙමින් ක්‍රියාත්මක කර තිබෙනවා. සෑම සහයෝගීතා ව්‍යාපෘතියක්ම විද්‍යාත්මක සැලසුම් සහ ඇගයීම්වලින් අනතුරුව ක්‍රියාවට නැංවු ඒවායි. ඊට කිසිදු දේශපාලන අරමුණක් ඈඳා ගැනීමක් නැහැ. මෙම සහයෝගීතාව ශ්‍රී ලංකාවේ ආර්ථීකයට ඉමහත් දායකත්වයක් ලබාදී ඇති අතර ඉන් ශ්‍රී ලංකවාසී ජනතාවට නියත වශයෙන්ම ප්‍රතිලාභ අත්කර දී තිබෙනවා. ශ්‍රී ලංකාවේ විදේශ ණය අංශ කිහිපයක් සමන්විතයි. එහි චීනයට සම්බන්ධ ණය ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳපොලට සහ බහුපාර්ශ්වික සංවර්ධන බැංකුවලට ඇති ශ්‍රී ලංකාවේ ණය ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු ප්‍රතිශතයක්.

චීනය විසින් ශ්‍රී ලංකාවට ලබාදී ඇති ණය බොහෝමයක් ප්‍රමුඛතා පදනම මත අඩු පොළී අනුපාත යටතේ නිකුත් කළ දිගු කාලීන ණයයි. එමගින් ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයට හා ජීවිකාවන් වැඩි දියුණු කිරීමට විශාල සහනයක් ලැබී තිබෙනවා. ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර ණය පියවීම් අත්හිටුවන බව ප්‍රකාශ කළ වහාම, චීන මූල්‍ය ආයතන කල්පිරුණු එම ණය පියවීම සම්බන්ධයෙන් යෝග්‍ය ආකාරයෙන් කටයුතු කළ හැකි බව ශ්‍රී ලංකා පාර්ශ්වයට දැනුම් දුන්නේ ශ්‍රී ලංකාවට සිය දුෂ්කරතා පිටුදැකිමේ සහායක් ලෙසයි.

එමෙන්ම අමෙරිකානු සහ අනෙකුත් බටහිර ප්‍රාග්ධන විගණන ආයතනවල අසමබර ණය වර්ගීකරණයෙන් සහ පුරෝකථන ශ්‍රී ලංකාවේ මූල්‍ය තත්ත්වය පිළිබඳව විශ්වාසය බිඳ හෙළා තිබෙනවා. අමෙරිකාව ඔවුන්ගෙන්ම ඇසිය යුතුයි ශ්‍රී ලංකාව වැනි රටවල තිරසර සංවර්ධනය වෙනුවෙන් ඔවුන් කර ඇති දේ කුමක්ද කියා.

අමෙරිකාවේ ඒකපාර්ශ්වීය ආර්ථික, මූල්‍ය හා විදේශ ප්‍රතිපත්ති තුළින් අනෙකුත් රටවලට සිදුව ඇති හානියද ඔවුන් විවෘතව බැලිය යුතුයි. අපි අපේක්ෂා කරනවා අනෙකුත් රටවලට සහ භූ-දේශපාලනික ගැටුම්වලට දොස් පැවරීම සීමා නොවී ශ්‍රී ලංකාවට වර්තමාන දුෂ්කරතාවයන්ගෙන් මිදී ණය බර සැහැල්ලු කර තිරසාර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීම සඳහා අමෙරිකාව සහය වනු ඇතැයි කියා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *