රාජපක්ෂලයි සහ රාජපක්ෂ හෙන්ඩයියොයි ආණ්ඩුව කරන තුරු ප්‍රශ්න විසඳන්න බෑ.!

June 29, 2022 at 6:41 pm | by emanisa.lk

රටේ වත්මන් අර්බුදයට වගකිව යුතු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු පාර්ශ්ව දැන්වත් ගෙදර යා යුතු යැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

රාජපක්ෂලා මහ පුටුවල සිටින තුරු සහ රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ හෙංචයියන් පාලන තන්ත්‍රයේ ප්‍රධාන තීරණ ගන්නා තාක් සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, විදුලිබල මණ්ඩලය ආයතන මෙහෙයවන තාක් ජාත්‍යන්තරය තුළ හෝ දේශීයව රට ගැන විශ්වාසයක් ඇති නොවන බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

එබැවින් මෙම ගැටලුව තවත් දරුණු වී ජනතාව පුපුරන තැනට ගෙනැවිත් රට ලේ ගංගාවක් නොකොට ජනාධිපතිවරයා වහාම ඉල්ලා අස්විය යුතු බවත්, ඔහු ඉල්ලා අස්වී පැය 24ක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවා, රහසිගත ඡන්දයෙන් ජනාධිපතිවරයෙක් පත්කරගෙන සර්ව පාක්ෂික පාලනයක් ඇති කළ යුතු බව ද පාඨලී චම්පික රණවක ප්‍රකාශ කළේය.

එළඹෙන මස 25 වනදා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 1000ක ස්වෛරී බැඳුම්කරයක් ගෙවීමට ඇති බවත්, ඩොලර් මිලියන 250ක් අයිති සමාගමක් මේ වන විටත් ලංකාවට එරහිව නඩු පවරා ඇති බවත් කී චම්පික රණවක, එම නඩුවේ බලපෑම මත ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහය ලැබීම පිළිබඳ විශ්වාසයක් නැතැයි ද කීවේය.

විශේෂයෙන්ම තෙල් හා ගෑස් ගෙන්වීමේ කටයුතුවලට රාජපක්ෂ පවුලේ සාමාජිකයන් මැදිහත් වීම නතර කළ යුතු බව කී මන්ත්‍රීවරයා, පහුගිය දිනවල මෙරටට බොරතෙල් ගෙන්වීමට මැදිහත් වී ඇත්තේ රාජපක්ෂ පවුලේ සාමාජිකයෙකුට ගුවනට චන්ද්‍රිකා යැවීමට උදව් කළ සමාගමක් බව ද පැවසීය.

පාඨලී චම්පික රණවක මේ බව පැවසුවේ නාරාහේන්පිට, 43 වන සේනාංක කාර්යාලයේ දී අද (29) පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස