සමහරු හිතන්නෙ මම මේ ගෝල්ෆේස් විරෝධතාවලට එරෙහි වෙන්නෙ ආණ්ඩුවට පක්ෂ නිසා කියල. ඇත්තටම මට තියෙන්නෙ එහෙම හේතුවක් නෙමෙයි. මම ගෝඨාභයගේ සීමා හා ආණ්ඩුවේ සීමා හොඳින් දන්නවා. ඒව ගැන මට දැඩි විවේචනයක් පවා තියෙනව. ඒත් මේ විරෝධතා එල්ල වෙලා තියෙන්නෙ ප්රශ්නය විසඳන්න නෙමෙයි.
ආණ්ඩවේ ප්‍රශ්න නිසාම මේ අර්බුදය ඇති වුනාම කියල මොහොතකට හිතුවත්, දැන් ඔය ගෝල්ෆේස් කේන්ද්‍රීය විරෝධතාව අපේ රටේ ප්‍රවේණිගත ප්‍රශ්නවලට පිළිතුරු ඉල්ලන්නෙ නැහැ. හැමෝම ඉල්ලන්නෙ පරණ සිස්ටම් එක ආපහු අපට හදල දෙන්න කියල. ඔතන ඉන්නෙ තරුණ කොටස්. හැබැයි ඒ අය එක වචනයක් කතා කරන්නෙ නැහැ මේ රටේ කර්මාන්ත බිහිකිරීම ගැන, අපනයන ආදායම් වැඩි කර ගන්න එක ගැන, අයවැය පරතරය අඩු කරගන්න එක ගැන, නොමිළේ දෙන අධ්‍යාපනය හා සෞඛ්‍ය දළ දේශීය නිෂ්පාදිතයට ඵලදායි ව යොදාගන්න ආකාරය ගැන වගේ මේ එකක්වත් ඔතන කතා කරන්නෙ නැ.
මේ ප්‍රශ්න විසඳන්නෙ නැතුව ලංකාව අලුතෙන් හදන්න බැහැ. ලංකාවේ ප්රශ්නය හොරකම හා දූෂණය කියල මතයක් හදල තියෙනව. අපි බලමු. ලංකාව ඉන්නෙ දූෂණය ගැන වන ලෝක ශ්‍රේණි ලැයිස්තුවෙ 102. බංග්ලාදේශය 140 ඉන්නෙ. තායිලන්තය 110. හැබැයි ආර්ථික වශයෙන් අපට වඩා ඔය රටවල් දැනට ඉදිරියෙන්. ඒ කියන්නෙ දූෂණය හා සංවර්ධනය සම්බන්ධ වෙනව නම් වෙන්නෙ ඉතාම දුරින්. හැබැයි අද හදල තියෙන මතයට අනුව, අපට මෙහෙම වෙලා තියෙන්නෙ දූෂණය නිසා. ඉතිං මිනිස්සු දූෂණය නැති කරන එක පස්සෙ යනව මිසක් තිරසාර සංවර්ධනයක් පිළිබඳ අනෙත් සියලු සාධක අමතක කරනවා. මම හිතන්නෙ මේක අපේ ඔළුවලට දාපු පිදුරු පඹයෙක්.
ඒ නිසා කරන්න ඕන, මම අර උඩින් කියපු ලැයිස්තුව අපේ සංවාදවල මුදුනට ගන්න එක. රටක් හා මිනිස්සු ආර්ථික වශයෙන් ස්ථාවර වෙනකොට ලංකාව වගේ ඉහළ අධ්‍යාපනයක් තියෙන රටවල ඔවුන්ගේ හොරකම් දූෂණත් අඩු වෙනවා. ඒ නිසා විරෝධතා කරන්න ඕන අපේ මූලික ව්‍යුහාත්මක, ප්‍රවේණිගත ප්‍රශ්න ටික විසඳගන්න මිසක් රට තියෙන තැනින් තවත් ඇදල දාන්න නෙමෙයි.
මහින්ද පතිරණ