ඇමැතිකම් දරමින් ආණ්ඩුව විවේචනය කිරීම බරපතළ වරදක්…! ඇමැතිවරු ආණ්ඩුවට එරෙහිව නඩු දමද්දිත් අපි ඉවසුවා…! -මහින්ද…

March 6, 2022 at 12:40 pm | by emanisa.lk

ඇමැති විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල දිගින් දිගට ම ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව විවේචනය කිරීම බරපතළ දේශපාලන වරදක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි.

ඔවුන් ඇමැති ධූරවලින් ඉවත් කිරීමට සිදුවූයේ කැබිනට්ටුවේ සාමූහික වගකීම පවත්වා ගෙන යෑම සියල්ලට වඩා වැදගත් නිසා බවත් මෙම අමාත්‍යවරුන් කැබිනට් තීන්දුවලට එරෙහිව උසාවියේ නඩු පවරද්දීත් ආණ්ඩුව අසීරුවෙන් නිහඬව ඉවසා සිටි බවත් අගමැතිවරයා පෙන්වා දෙයි.

”යමකු අමාත්‍ය ධූරයක් දරන විට කතා කළ යුතු සහ නොකළ යුතු දේ දැනගත යුතුයි. එසේම ආණ්ඩුව කරන ජනප්‍රිය දේ තමන්ගේ ගිණුමට දමා ගැනීමටත් ජනප්‍රිය නොවන දේ අන් අයගේ ගිණුම්වලට බැර කර ජනප්‍රිය වීමටත් තැත් කිරීමත් අනාගතයක් අපේක්ෂා කරන දේශපාලනඥයන් නොකළ යුතු ක්‍රියාවක්.

විශේෂයෙන් විමල් වීරවංශ හා උදය ගම්මන්පිල අමාත්‍යවරුන් මේ ආණ්ඩුව බිහි කිරීමට සෑහෙන කාර්යභාරයක් කළ බව සත්‍යයක්. එදා එසේ ආණ්ඩුව හදන්නට මහන්සි වූ අය ආණ්ඩුව කඩා දැමීමට දායක නොවිය යුතුය යන්න මගේ මතයයි.”

තමන්ගේ දීර්ඝකාලීන දේශපාලන ගමනේදී මෙබඳු බොහෝ රැඩිකල් වැඩවලට දායක වූ නමුත් ඒ සියල්ල කළේ සීමාව දැන ගෙන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා මාධ්‍යයට කිව යුතු දේ ගැන නොකිව යුතු දේ ගැන මේ අය තමන්ගෙන් උපදෙස් ලබා ගත්තේ නම් මෙවැනි කරදරයක් සිදුනොවන්නේ යැයි ද කීය.

එසේම ආණ්ඩුවක් කිසියම් අර්බුදයකට මුහුණ දෙන විට එහි හවුල්කාර පක්ෂ හා කණ්ඩායම්වල යුතුකම තමන් සතු විකල්ප යෝජනා ආණ්ඩුවට ලබාදීම බවත් එසේ නොකර මහජන රැස්වීම් තබා ඒවා ගැන ජනතාවට කීම ඵලදායී ක්‍රියාවක් නොවන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *