පසුගිය රජය සමයේ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තුවෙන් පත්වී පාර්ලිමේන්තුවේ දින පහක් පමණක් සිටි මන්ත්‍රීවරයකු ගෙදර ගොස් ඇත්තේ ඔහුට රජයෙන් ලැබුණු වාහන බලපත්‍රය කෝටි හයකට විකුණා බව වරාය හා නාවික කටයුතු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසයි.
ඔහු මේ බව පැවසුවේ අද (11) අපරාධ නඩු විධාන සංග්‍රහය පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියැවීමේ විවාදයේ දී පාර්ලිමේන්තුව අමතමිනි.
පිරිමි හෙදියක ලෙස කටයුතු කරන මේ හිටපු මන්ත්‍රීවරයා දැන් ජනතාවගේ දුක ගැන කතා කිරීමට පටන් ගෙන ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවේ සහ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නගේ කරට අත දා ගෙන සිටි මේ පුද්ගලයා එසේ ඔඩොක්කුවේ සිටිය දී සෞඛ්‍ය ක්ෂේත්රයේ වැටුප් විෂමතා ගැන කතා නොකළේ මන්දැයි තමා ප්‍රශ්න කරන බව ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
වසංගතයක් පවතින අවස්ථාවක ජනතාව බිල්ලට දෙමින් වැඩ වර්ජන පැවැත්වීම සාධාරණ නැතැයි පැවසූ අමාත්‍යවරයා විරුද්ධ පක්ෂයට උවමනා වී ඇත්තේ ආණ්ඩු විරෝධී රැල්ලක් හැදීමට යැයි ද ප්‍රකාශ කළේය. මේ වැඩ වර්ජන කරන අයට හෙන ගහන්න ඕන කියලා කාන්තාවක් රූපවාහිනියේ පවසනු තමා ඊයේ දුටු බව ද ඔහු කීවේය.