රාජ්‍ය ආයතන ප්‍රධානියකුගේ කෝටි තුනහමාරක අයථා ගනුදෙනුවක් සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරන හඬ පටයක් එම ආයතනයේ නිලධාරීන් අතට පත්ව ඇතැයි වාර්තා වෙයි.
එම ආයතනයේ ප්‍රධාන කාර්යාලය පවත්වා ගෙන යන ගොඩනැගිල්ලේ විදුලි සෝපානය ඉවත් කර නව විදුලි සෝපානයක් ස්ථාපිත කිරීම, ආයතනය සතු වාහන දහයක් විකිණීම ඇතුළු කාර්යයන් කිහිපයකට ටෙන්ඩර් කැඳවා ඇති බවට ද එම ටෙන්ඩර් පත්‍රිකාවල මිල ගණන් වෙනස් කර තමන්ට හිතවත් ව්‍යාපාරිකයකුට ටෙන්ඩරය ලබා දීම වෙනුවෙන් එම ආයතන ප්‍රධානියාගේ ළඟ ම ගෝලයකුට මෙම රුපියල් කෝටි තුනහමාරක මුදල ලබා දී ඇති බවට ද එම හඬ පටයේ සංවාදවලින් හෙළිවන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙම ප්‍රශ්නගත ආයතන ප්‍රධානියාගේ ගිණුමකට ද එම ව්‍යාපාරිකයා සෘජුව ම ලක්ෂ පහළොව හා හතරහමාර බැගින් අවස්ථා දෙකක දී දහනව ලක්ෂ පනස් දහසක මුදලක් ලබා දී ඇති බව ද එම හඬපටයෙන් හෙළි වී ඇතැයි වාර්තා වේ. රුපියල් කෝටි තුනහමාර ලබාගත් බව කියන සේවකයා මාසයක පමණ කාලයක සිට සේවයට වාර්තා නොකිරීමෙන් හා තමන්ගේ ගනුදෙනුව සිදුනොවීමෙන් ඇති වූ සැකය මත අදාළ ව්‍යාපාරිකයා මෙම හඬපටය නිකුත් කර ඇති බවද දැන ගන්නට තිබේ.
මෙම සේවකයා එම ආයතනයේ ප්‍රවාහන අංශයේ හා ප්‍රවර්ධන අංශයේ කළමනාකරුවකු ලෙස පත්වීම් ලබා දී තිබෙන්නේ ප්‍රශ්න ගත ආයතන ප්‍රධානියා විසින්ම බව ද, එසේ සිදුකර තිබෙන්නේ එම සේවකයා මීට පෙරද මුල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් වසර ගණනාවක සිට වැඩතහනමට ලක්ව සිටිය දී එය සමථයකට පත්කර බවද වාර්තා වේ.
මේ හඬපටය නිකුත් වීමත් සමග එම ආයතන ප්‍රධානියා ඔහුගේ කාර්යාලයට විශේෂ ආරක්ෂාවක්ද යොදවා ගෙන ඇතැයිද දැන ගන්නට තිබේ. එහෙත් ආයතනයේ සිටින ආරක්ෂකයන් එයට ප්‍රමාණවත් නොවන නිසා තාවකාලිකව තුන්දෙනකු පමණක් ආරක්ෂාවට ලබාදිය හැකි බවට ආරක්ෂක අංශ ප්‍රධානියා එම නිලධාරියාට දැනුම් දී ඇතැයිද වාර්තා වේ.
ආයතනයේ සිටින ආරක්ෂකයන් ප්‍රමාණවත් නොවන්නේ නම් වෙනත් පෞද්ගලික ආරක්ෂක සේවාවකින් පිරිසක් ගෙන්වා ගන්නා ලෙස ඔහු ආරක්ෂක අංශ ප්‍රධානියාට උපදෙස් දී ඇති බව ද දැනගන්නට තිබේ. මේ සම්බන්ධයෙන් අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව ද අප කළ විමසීමක දී එම ආයතනයේ ඉහළ නිලධාරියෙක් සඳහන් කළේය.