තමා ළඟ ද ෆයිල් තිබෙන බැවින් වේදිකාවල පුද්ගල චරිත ඉලක්ක කර අසත්‍ය විවේචන නොකර ප්‍රසිද්ධ විවාදයකට පැමිණ කරන චෝදනා ඔප්පු කර පෙන්වන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට අභියෝග කරන බව එක්සත් ජාතික පක්ෂ කොළඹ දිස්ත්‍රික් නායක රවි කරුණානායක පවසයි.
කොළඹ දී පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඊයේ (11) හෙතෙම මේ අභියෝගය කළේය.
යහපාලන ආණ්ඩු සමයේ විවිධ මත ගැටුම් ඇති වීමට බලපෑ මෛත්‍රීපාල සිරිසේනගේ අනිසි ක්‍රියාකාරකම් සම්බන්ධ කරුණු සියයකට වැඩි ගණනක් කිව හැකි නමුත් විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණු 07ක් සම්බන්ධයෙන් විවාද කිරීමට හැකි නම් පැමිණෙන ලෙස ද රවී කරුණානායක අභියෝග කළේය.
හොඳ දේවල් සියල්ලේ ගෞරවය ඔහුට ලබා ගනිමින් අතපසුවීම් සියල්ල සම්බන්ධයෙන් වෙනත් පාර්ශ්ව වෙත ඇඟිල්ල දිගු කරමින් චෝදනා කිරීම ඔහුගේ ක්‍රමය වී ඇති බවත් තව දුරටත් නිහඬව නොසිට ෆයිල්, සාක්ෂි, සාධක සහිතව විවේචනවලට පිළිතුරු දීමට තමා සූදානම් බව ද හෙතෙම කීය.
තනි දේශපාලන ගමනක් වෙනුවෙන් පුද්ගල චරිතවලට හානි කරමින් එක්සත් ජාතික පක්ෂය විනාශ කිරීමට මෛත්‍රීපාල සිරිසේනට කිසිසේත්ම ඉඩ නොතබන බවත් උපකාර කළ සියලු දෙනාට හානි කරන සුදු ඇඳුම් ඇඳගත් ගුණමකුවකු නොවී දේශපාලනය කරන ලෙස ද ඔහු හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය.
ජනාධිපතිවරණ සමයේ මෛත්‍රීපාල සිරිසේනට හොර රහසේ ලැබී පසුව වංචා කළ ඩොලර් තොගය ගැනත් ජනාධිපතිවරයා ලෙස සිදු කළ යකඩ ජාවාරමක් සහ අයථා මත්පැන් බලපත් ලබා දීමක් ගැනත් මෙම මාධ්‍ය හමුවේ අනාවරණය කළේය.
මෛත්‍රීපාල සිරිසේන යුද්ධය අවසන් කළ සරත් ෆොන්සේකාගෙන්ද පන්න පන්නා පළි ගත් බව පෙන්වා දුන් රවි කරුණානායක සරත් ෆොන්සේකාට වෙඩි නොවදින රථයක් ලබා නොදෙන ලෙස කළ බලපෑම් ගැන ද හෙළිදරව් කළේය.
එක්සත් ජාතික පක්ෂය ද විනාශ කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට හා තමාට මෛත්‍රීපාල සිරිසේන එළව එළවා පහර දුන්නේත් දැනුද තමන්ට අවලාද නගමින් තැන තැන යන්නේත් සිරිසේනගේ මේ දූෂණ, වංචා සහ අක්රමිකතාවලට අනුමැතිය නොදුන් නිසා බව රවී කරුණානායක මෙහිදී වැඩි දුරටත් පැවසීය.