ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ මාධ්‍ය උපදේශකයකු සුදේව හෙට්ටිආරච්චි තවමත් ස්වර්ණවාහිනී රූපවාහිනිය පාලනය කරව බවත් ඉන් මිලියන ගණනක වැටුප් ලබන බවත් ස්වර්ණවාහිනියේ නිවේදිකාවක ලෙස කටයුතු කළ තිළිණි පෙරේරා පවසයි.
සුදේව හෙට්ටිආරච්චි ජනාධිපති කාර්යාලයෙන් පූර්ණ කාලීන වැටුප් ලබන සේවකයෙකු වන අතර ස්වර්ණවාහිනියේ අධ්‍යෂකවරයකු ලෙස ද වැටුප් ලබන බවට තිළිණි පෙරේරා සූදේව හෙට්ටිආරච්චි වෙත ලියූ ලිපියක සඳහන් වෙයි.
එම ලිපිය පහත දැක්වේ.
සුදේව හෙට්ටිආරච්චි වෙත ලියමි,
මීට අවුරුද්දයි මාස 3කට පෙර එනම් 2020.09.22 දින මාගේ සහ ස්වර්නවාහිනි හිටපු නිවේදක නදීක කරුණානායකගේ සියලු වැඩසටහන් නිවේදන කටයුතු නවත්වා කිසිදු හේතුවක් නොදන්වා පරීක්ෂණයක් පවත්වන බව පැවසූ දිනයේ, ප්‍රධාන විධායක නිලධාරියා වූයේ ඔබ බැවින් ද, මේ වන විට ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ජනරාල්වරයා වුව ද ස්වර්ණවාහිනියේ කටයුතු මෙහෙයවන්නේ ඔබ බවට ආයතනයේ කා අතරත් ප්‍රසිද්ධ රහසක් බැවින් ද මෙම ලිපිය ලැබීමේ එකම සුදුස්සා ඔබ යැයි සිතමි. එදා සිට අද දක්වා තිරයේ නොපෙනුණත් අද දක්වා ස්වර්ණවාහිනියේ සේවිකාවක් වූ බැවින් බොහෝ දෙනෙක් විමසූ ප්‍රශ්නවලට සත්‍ය කිව නොහැකිව නිශ්ශබ්දව සිටින්නට සිදු විය.
ඔබත් රංගන ද සිල්වාත් ස්වර්ණවාහිනියට පැමිණෙද්දී එක් කරුණක් පිළිබඳව මා ඇතුළු අනෙක් සේවකයින් සතුටු විය. ඒ විජාතික සමාගමක් වන ලයිකා මොබයිල් සමාගම විසින් මිලට ගත් ස්වර්ණවාහිනියේ ප්‍රධාන තනතුරකට මෙරට මාධ්‍ය ක්ෂේත්රයේ කොතැනක හෝ සිටි අය පැමිණීම ගැන සතුටක් වූ බැවිනි. ඔබ පැමිණීමෙන් පසු මුල් වරට අප හමු වී ස්වර්ණවාහිනියේ මෙතෙක් කලක් සිටි නිවේදකයින් සම්පතක් බවත් ගමන ඇත්තේ ඒ අයත් සමග බවත් කියද්දී එම සතුට වැඩිවිය. ඔබේ අතීතය ගැන දන්නා සමහරු නම් ඒවා වචන පමණක් විය හැකි බව කීවත් ඒ තරම්ම මවා පෙන්විය හැකි යැයි නොසිතුවෙමි.
කෙසේ වෙතත් ඒ සමහරු කී දේ පසක් කරමින් මුලින් කී කතා බොරු රංගන බව තේරුම් ගන්නට හැකි වූයේ අප රාජකාරිවලින් ඉවත් කිරීමෙන් පසුවයි. එවකට ස්වර්ණවාහිනියේ සිටි මාධ්‍ය ක්ශේත්‍රයේ ප්‍රවීණ, ජනප්‍රිය නිවේදකයින්ට ද දවසින් දවස පල නොකියා පලා බෙදද්දී මට කවර කතා දැයි අමුතුවෙන් කිවයුතු නැත. මා මුලින් සඳහන් කළ නදීක කරුණානායක හා මා සියලු වැඩසටහන්වලින් ඉවත් කර ලිපියක් ලබා දුන් දිනයේ ඒ ගැන විමසීමට යද්දී ඔබ පිළිතුරු නොදී පළාගිය අයුරු අදට ද සිහිවේ.
රූපවාහිනී තිරය ඉදිරියේ රටේ නම ගිය චරිත ප්‍රශ්න කළ ඔබේ ප්‍රතිරූපය මා වැනි වයසින් බාල, තනතුරින් පහළ නිවේදිකාවක් ඉදිරියේ හෑල්ලු වූයේ ඇයි දැයි මම නොදනිමි. මා නීතිඥවරියක ලෙස දිවුරුම් දී සේවයට පැමිණි මුල්ම දිනයේ එය සිදුවීමත්, ඔබ හැර ආයතනයේ සියලු දෙනා මට සුබ පැතූ බවත් කිසිදා අමතක නොවේ. එදින ඔබට මා ඉදිරියේ පිළිතුරක් නැති වූයේ මේ සමස්ත සිදුවීම ඔබගේ පමණක් සැලසුමක් නොවූ නිසා විය හැකිය. විදේශයක සිට එන බලවේගයක් විසින් ඔබව මෙහෙයවූවා විය හැකි බැවින් ඔබ කෙරෙහි කිසිදු වෛරයක් මට නැත. බහුතරයක් දෙනා මුලින්ම සිතන්නේ තමන් ගැනය. සිතා ගත නොහැකි තරමේ වැටුපක් ආරක්ෂා කර ගැනීමට සහෝදර සේවකයින් නෙරපා හැරීමටත් වඩා දේ ඉදිරියේ දී ඔබට කරන්නට සිදු වුවහොත් ඊටද පුදුම විය යුතු නැත.
2022 වසර ආරම්භයත් සමග ස්වර්ණවාහිනියත් සමග තිබූ ව්‍යාකූල වූද, පීඩාකාරී වූද බැඳීම ලෙහා දමන්නට සැලසීම මට නම් මහත් සහනයකි. මාස 15ක් තිස්සේ ද්වේෂ සහගත ලෙස අවහිර කර තිබූ නිවේදන ගමන හෙට සිට මට නිදහසේ යළි ඇරඹිය හැකි වනු ඇත. අවසාන වශයෙන්, රූපවාහිනී තිරය ඉදිරියේ තමන් සර්ව සාධාරණ බව හඟවමින් මවා ගන්නා ව්‍යාජ ප්රතිරූපවලට ඇත්තේ තාවකාලික පැවැත්මකි. එකී ව්‍යාජ ප්රතිරූප දනී.
රටේ සමස්තයක් දෙනා නොදන්නවා වුවද ස්වර්ණවාහිනි මාධ්‍ය ආයතනයේ සේවකයින් නම් හොඳින් ප්‍රශ්නවලට පිළිතුරු සෙවීම සඳහා රඟපෑමට පෙර ස්වර්ණවාහිනි නාලිකාවේ සේවකයින් කී දෙනෙකු නව කළමනාකාරීත්වයේ අසාධාරණ තීරණ හේතුවෙන් සාධාරණත්වය පතා අධිකරණය ඉදිරියට ගොස් ඇත්දැයි පරීක්ෂා කර බලන මෙන් ඉල්ලමි. ඒ සංඛ්‍යාවට හෙටින් පසු තවත් 1ක් එකතු කරගන්න. තමන් යටතේ සිටින සේවකයින්ට සාධාරණයක් කළ නොහැකිව ලයිකා මොබයිල් සමාගමේ මුදල්වලට කීකරු වන ඔබ අසරණයැයි සිතා ඔබට අනුකම්පා කරමි.
තිළිණි පෙරේරා