කෘෂිකර්ම අමාත්‍යාංශයේ දක්ෂ අවංක හොඳ නිලධාරීන් රැසක් සිටින නමුත් ඒ අයට වැඩ කරන්න නොදී ඔවුන්ගේ ඔළුව නරක් කරන්නේ බාහිරව උපදේශකයින් ලෙස පෙනී සිටින පුද්ගලයින් යැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.
කෘෂිකර්ම අමාත්‍යාංශයට පත්ව ආ දක්ෂ ලේකම්වරුන්ටත් අමාත්‍යාංශය අතහැර යන්න සිද්ධ වුණේ මේ හේතුව නිසා බව කී ඇමැති අලුත්ගමගේ, හොඳ දක්ෂයෙක් වන මහාචාර්ය උදිත් ජයසිංහ ලේකම්වරයා රජයේ හරිත කෘෂිකර්ම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට කැමැත්තෙන් කටයුතු කළ නමුත් ඒ සඳහා ඉඩ නොදී ඔහු සම්පූර්ණයෙන්ම වෙනස් කළේ පිට සිට බලපෑම් කරන උපදේශකවරුන් යැයි කියා ගන්න කණ්ඩායමක් බව ද කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
මේ අදිසි හස්තය ගැන කල්පනාකාරී විය යුතු යැයි ද අමාත්‍යවරයා කීවේය. කෘෂිකර්ම අමාත්‍යාංශයට පත්ව ආ නව ලේකම්වරයා හා අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් සමඟ අද (31) පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ කරුණු අනාවරණය කළේය.