ලංකාව හැදුවත් ඉන්දියාවට අයිති සුපිරි පොහොරක් ගෙනේ…! යූරියා කිලෝ 45ක අස්වැන්න දියර පොහොර මිලි ලීටර් 500කින්…!

October 18, 2021 at 8:26 am | by emanisa.lk

ඉන්දියාවේ සමාගමකින් ආනයනය කිරීමට නියමිත නැනෝ තාක්ෂණයෙන් නිපදවන ලද නයිට්‍රිජන් දියර පොහොරවල පේටන්ට් බලපත්‍රය මෙරට විද්‍යාඥයන් පිරිසකට අයත් එකක් බව කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය උදිත් කේ.ජයසිංහ පවසයි.

එම බලපත්‍රය ඉන්දීය සමාගම මිල දී ගත් බවත් නයිට්‍රිජන් දියර පොහොර ලීටර් ලක්ෂ 22 ක් ඉන්දියාවේ, ගුජරාට් ප්‍රදේශයේ පිහිටි එම සමාගමෙන් මෙලෙස ආනයනය කරන බවත් ලේකම්වරයා කීවේය.

දියර පොහොර සඳහා ඉතාමත් සාධාරණ මිලක් ලබා දී තිබෙන බවත්, නයිට්‍රිජන් දියර පොහොර සඳහා වැය කෙරෙන්නේ රුපියල් බිලියන නවයක් පමණක් බවත්, යූරියා ආනයනය කිරීම සඳහා පමණක් පසුගිය කාලයේදී රුපියල් බිලියන 31 ක් වැයවූ බවත් ඔහු සඳහන් කළේය.

වී වගාව සහ බඩ ඉරිගුවලට අවශ්‍ය දියර පොහොර යූරියාවලට සමානුපාතිකව ගෙන්වන අතර යූරියා කිලෝග්‍රෑම් 45ක ඇසුරුමකින් ලබාදුන් නයිට්‍රිජන් ප්‍රමාණය, මෙම දියර පොහොර මිලි ලීටර් 500 කින් ලබාදෙන බවද කියයි.

ආනයනය කරන දියර පොහොරවල සාම්පල ඉන්දියාවේ සේම ලංකාවේ ද පර්‌යේෂණාගාරවල පුළුල් පරීක්ෂාවකට ලක් කිරීමෙන් පසුව ඒවායෙහි බැර ලෝහ, අපද්‍රව්‍ය, ශුද්‍ර ජීවීන්, බැක්ටීරියා අඩංගු නොමැති බව අනාවරණය වී තිබෙන බවත්, යූරියා පොහොරවලට වඩා ඉතා සාර්ථක අස්වැන්නක් මෙම නයිට්‍රිජන් දියර පොහොරවලින් ලබාගත හැකි නිසා ගොවීන් ඒ පිළිබඳව කිසිදු බියක් ඇති කර නොගත යුතු බවද ලේකම්වරයා පැවසුවේය.

මෙම නයිට්‍රිජන් දියර පොහොර ශාකයට යෙදූ පසුව ශාකය ඉතා ඉක්මණින් උරා ගන්නා, ඉතා කාර්යක්ෂමතාවකින් යුතු, ලෝකයේ බොහෝ රටවල් භාවිත කරන හොඳම වර්ගයක් බව ද ඉන්දියාවේ කාබනික ගොවිතැන් කටයුතු පමණක් කරනු ලබන සිකීම් ප්‍රාන්තයේ භාවිත කරන්නේ ද මෙම නිෂ්පාදන බව ද ලේකම්වරයා සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *